Sunday, May 5, 2013

(කැලණි ගං අසබඩ වැලි ගොඩ දමන දිරිය ගැහැණියක් දුටුවෙමි.)




පිනැති දියෙහි මෙගොඩට පීනන කිඳුරී
රුදුරු රලට දරු දුක දිය කොට හැරුණී
හැපෙන දෑත, කරගැට මුතුවැල් සැරහී
සෙනෙහෙ කූඩ, හිසපිට පෙරුමන් පුරතී

ගං දිය ගෙනැත් රංකිරි තොල කට ගාවා
සන්දිය පුංචි කෙල්ලන් රොත්තේ නාවා
මල්වර හිනා පා ඉවුරේ හැම දාමා
ඔරුවක ඇවිත්, පෙම් කුමරෙක් අත පෑවා

පිනෙන් වැඩුණු පෙම පැටවුන් සේ රොත්තේ
ඔරුවෙන් එගොඩ යන පිරිසෙන් රැුක ගත්තේ
පෙම්බර සැමිය හා දරු මල්ලන් මත්තේ
හැප්පුණු ඇයට අද කිසි සරණක් නැත්තේ 

වැස්ස වලාවක දෙවියන් හිත බොහොමෙට රිදුණු
දවසක වල්ලභයානන් මරු වසගෙට ගැනුණූ
පැටවුන් තිදෙන, බඩ කට පුරවන හැටි සොයනු
වේවැල් කූඩයක් ගෙන වැලි ලොරියට නැගුණු

තණේ කිරත්, ලිපි මෙලවෙන හැම වාරේ
හිනා, පැටවු මුව අග නිතියෙන් බේරේ
පිරිමි කමට අබිසෙස් පමුණන කාලේ
‘ගැහැණිය යකඩ‘ කැලණිය ගං දිය පාරේ

Related Posts Plugin for WordPress, Blogger...