Tuesday, August 20, 2013


මහවටම දියවුණෙමි

-----------------------

අව්වටම පිච්චුණු
සුදු අත්දිග කමිස
පොල්තෙල් අතුල්ලා
එක්කාසු කළ තැන තැන 
ශේෂ වූ කෙස්ස
අළු කෙසෙල්, 
ගැට පොලොස් සමඟ
බත ඔතා දිවයින පිටුවක
අවැසි අනවැසි
සියළු ලට්ට ලොට්ට
පුරවපු ඔපීසි 
ඔලොගුව රුඳින උරයක
ඉදිමුණු දණහිස්
වලට බරදී දනිපනි ගගා
මහව අල්ලන්ට
කෙසඟ මුත් තවම නාඩි 
වැටෙනා සිරුර ගෙනයමි
මාස් පඩි හිඟමන් ඉල්ලන්ට

ගුණසේන, ආරියපාල
ඇතුළු මහවේ නඩය 
මග බලයි ඉස්ටේසම
පුසුඹ සෙන්ට් තවරාණ
බෙදයි, ආලිංගන
ඉහළගම රුචිරාන
සූ හඬින් හති අරින
මහව විත් නලාව පිඹියි
කණ ගාව
තැලි පොඩිවී, 
හැඩවී ඇදවී
හිඳ ගනිමි 
විසි වසරක් පුරා
ආපු ගිය අය ගාව

මන්චි බිස්කට්, ඉඳිආප්ප
උදේ කෑම
බෙදෙයි අතිනත නොදනිත්
කොහෙන් ආව
ජනේලයකට තට්ටු දමමින් ඇසේ
කොණකින් 
සුභාවිත ගීත රාව

රතුපස්වලින් ඇරඹෙන
දේශපාලන විසංවාද
දිගුවෙයි ඇදෙයි
මහින්ද, රනිල් ගාව
බූරුවා කුට්ටම
ඇනෙයි, පෙරළෙයි
ආසි, හේරන් එක්ක
 ඕමි ගේම



අතින් අල්ලාගත්
මහවේම බැඳි හාද
තහනමේ ගෙඩි කඩන
හොර හොරෙන්
යන එන පිරිස් දෙස බලන

සහෝදර පෙම බේරෙන
මැදිවියේ සොයුරන් 
මැදිකරගෙන
අගේට හැදුණු
නංගිලා සේරම
හුරතලෙන් බෝම
කොටුවෙ, මරදානෙ දී
සායම බේරෙන

ලොක්කිගෙ මගුල ගැන
පොඩි එකාගෙ ටියුෂන් සල්ලි ගැන
ගෙවල් කුලී ගැන
ලෝන් එක ගෙවන හැටි ගැන
හිත හිතා නිදි කිර කිරා
විසි වසරක් පුරා
දියවුණෙමි මහවටම 
තත්පර පැය දවස් 
ජීවිතේ ගෙව ගෙවා

-ජෙමා

Related Posts Plugin for WordPress, Blogger...