Thursday, March 28, 2013

උපාසක කොකා වෙත.....



කොකෙක් කිරයි නිදි
තනි කකුලෙන් බුදි

ලොකු තිත්තයො
මඩ කණයි
ලේ හුංගයි
කාවයියයි

මම පණ්ඩිත
උඹ අති පණ්ඩිත
මූ ආචාර්ය
අරෑ මහාචාර්ය
ලූලෙක් වත් නැති
වලත් මාර ගති

කොකෙක් කිරයි නිදි
තනි කකුලෙන් බුදි

බලාපල්ලා හැටි
ගලවමු තටු මුගෙ
හොල්ලල බලමුද
කොනිති ගහමු බොල

ඇහැ ඇරපන් කොක් රාලේ
සනුහරේම ජජංජාලේ
තිත්ත කණයි කාවයියෝ
පිනුම් ගහන බත් බැලයෝ

තිත්තයො නෑ උන් මෝරෑ
දැන් දැන් ලොකු කයිවාරෑ

කොකා තාම නිදි
කොකා තාම නිදි

Thursday, March 21, 2013

Grown ups (වැඩිහිටියෝ)



ජෙමා පහුගිය ටිකේම හිටියෙ ලොකු කම්මැලි කමකින්. ඒක නිසා පරණ Films collection එකක් ඇදල film එකක් බලන්න හිතුන. එතකොට තමයි Grown Ups හම්බවුනේ. 2010 වර්ෂයෙදි තිරගත කරපු film එක buddy-comedy වර්ග‍යටයි අයිති වෙන්නෙ. අපි කවුරැත් දන්න විකට නළුවෙක් තමයි Adam Sandler. Film එ‍කේ Lead role එක කරන්නෙ  Adam. Denis Dugan අධ්‍යක්ෂණය කරපු Grown Ups දිහා comedy film එකකට වඩා වෙනස් විදිහකට බලන්න ජෙමා හිතුව. film එ‍‍ක දිවෙන්නෙ කුඩා කාලයෙ පැසිපන්දු කණ්ඩයමේ සෙල්ලම් කරපු යාලුවො පස්දෙනෙක්ගේ නැවත හමුවීමක් මුල් කරගෙන. ඔවුන් කුඩා කාලයෙ දිනපු එකම පැසිපන්දු තරගයේ පුහුණුකරැගේ මිය යාම නිසා කාලයක් හමුනොවී හිටපු යාළුවො පස්දෙනා නැවතත් මුණ ගැහෙනව. ඔවුන් එන්නෙ තමන්ගෙ බිරින්දෑවරැ, දරැවොත් එක්කගෙන. එහිදි Adam නිරෑපණය කරන්නෙ Lenny කියන Holly wood Agent කෙ‍‍‍‍ෙනගෙ චරිතයක්. ඔහුට පිරිම දරැවො දෙන්නෙකුයි, ගැහැණු දරැවෙකුයි ඉන්නව. ඔවුන් Luxury ජීවිතයට හුරැවුණ, වීඩියෝ Games ගහන, මොබයිල් වලින් තමන්ගෙ නැනීට text කරන අලුත් පරම්පරාවෙ ළමයි. නමුත් Lenny සහ ඔහුගෙ සගයන්ට ට උවමනා කරනව තමන්ගෙ ළමයින්ට තමන් ළමා කාලයෙදි ලබපු අත්දැකීම් ලබාදෙන්න. ඒ නිසා ඔවුන් ලේක් හවුස් එකක් රෙන්ට් කරගෙන සති අන්තයක් ගත කරන්න කල්පනා කරනව. එතනදි සිදුවන සිදුවීම් මාලාවක් තමයි film එකේ කතාව විදිහට දිග හැරෙන්නෙ.

මේ film එක බලද්දි ජෙමාට තමන්ගෙ පොඩි කාලෙ මතක් වුනා. අපි පොඩි උන් කාලෙ මංජුලය, මම, ගාමිණිය අපේ අයිය, පියා, ලකිය  වටපිටාවෙ සෙට් එකම උදේ පාන්දර ඉදන් ගස් කෙටුව හැටි, රොබින් හුඩ් බලල දුනු හදාගෙන රොබින් හුඩ් සෙල්ලම් කරපු හැටි. බන්කර් හදාගෙන හොරා පොලිස් කරපු හැටි අද වගේ තාම මතකයි. අපිට කලින් පරම්පරාවට අපිටත් වඩා සුන්දර ළමා කාලයක් තිබුණ. කජු ගස්වල කජු හැදෙන කාලෙට උදේ පාන්දර කජු ගස්යට කජු අහුලන්න කොල්ලො ඔක්කොම පන්සල් වත්තට යනව. එහෙම කජු ඇහිදන් ඇවිත් වල කජු ගහනව. අපිත් ටියුෂන් ගියා. පහ වසරෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලෙකට යන්න උවමනාව ජෙමාට වගේම අනිත් උන්ටත් තිබුණා. ඒත් බට්ට කොටුවක් ඇදල බට්ට පනින්න, ගුඩු ගහන්න අපිට වෙලාවක් තිබුණ. දැන් පොඩි උන්ගෙ ජීවිත දිහා දැක්කම ජෙමාට ඇතිවෙන්නෙ ලොකු කලකිරීමක්. තවලමේ බැදපු ගොන්නු වගේ පොත් කන්දක් කරේ තියාගෙන පාන්දරම ඉස්කෝලෙ ගිහින් හැන්දෑවෙ ටියුෂන් ගිහින්, තාත්ත කියන හින්ද Cricket practice ගිහින් ගෙදර එන පොඩි එවුන් එන්නෙ හොදටම හෙම්බත් වෙලා. පහවසරෙන්ම ඉගෙන ගන්න එක මහම මහ කරදරයක් කියල අතෑරල දාන්න තරම් හිතන පොඩ්ඩො අනන්තයි. මුලින් කියපු Grown ups film එකේ එක්තරා රෑප රාමුවකදි Lennyගෙ බාල කොල්ල තනියම විල ලග කැරකෙනව Lenny බලාන ඉන්නව. පොඩි එකා ගල් කැටයක් අහුලගෙන මොකද කරන්නෙ කියල කල්පනා කරන අතරෙ  Lenny පොඩි එකාට නෑහෙන්න තමන්ටම මෙහෙම කියා ගන්නව. "අන්න හරි කොල්ලො ඔය ගල් කැටේ විලට වීසි කරපන්, නැත්නම් ගහකට ගහපන්, නැත්නම් අයියගෙ මූනට ගහපන් මොකක් හරි කරපන්..." එත් පොඩි එකා ගල්කැටේ බිම දාල හරිම කලකිරීමෙන් බිම බලාගෙන ආපහු යනව. ඒ සිදුවීම හරිම සිනමාත්මකයි වගේම, ලෝකෙ හැම රටකම වගේම අලුත් පරම්පරාවට සිද්ධවෙලා තියෙන ඛේදවාචකය අපිට මතක් කරල දෙනව. film එක‍කේ එක තැනකදි Lenny ගෙ යාළුවෙක් තමන්ගෙ තාත්තත් එක්ක තරහවෙලා tree house එකක සුමාන දෙකක් ගත කරපු හැටි ඔහු මතක් කරනව. මටත් මතකයි රසිකයලගෙ ගෙදර අඹ ගහේ අපි පොඩි අට්ටාලයක් හදල සෙල්ලම් කරපු හැටි. ඒ අට්ටාලෙට නැග්ගාම ඈත පන්සලක බුදු පිළිමෙකුත් අපූරැවට පෙනුන. තවත් තැනකදි හරි අපූරැ සිද්ධියක් වෙනව. Lenny ගෙ බාල දියණියගෙ දතක් වැ‍ෙටනව හරිම අහම්බෙන් ඒ වෙලාව පොඩි එකී තමන්ගෙ දතත් අරගෙන අම්ම ලගට යන්නෙ දත tooth fairy ට දෙන්න. යුරෝපීය රටවල පොඩ්ඩන් විශ්වස කරන්නෙ තමන්ට අලුත් දත් දෙන්නෙ සුරංගනාවක් කියලයි. මේ වෙලාවෙ අම්ම හදිස්සි දුරකතන ඇමතුමක ඉන්නෙ ඒක නිසා ඇය නොදැනිම කියනව "හරි හරි එයා දත කොට්ටෙ උඩින් තියල යන්න, මම ඩොලර් එකක් කොට්ටෙ යටින් තියන්නම්". අම්මගෙ කාර්ය බහුල ජීවිතේ හින්ද කෙල්ලට සුරංගනාව ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. ඇය හිතාන ඉන්නෙ ඩොලර් එක තියන්නෙ සුරදූතියක් ඇවිදින් කියල. අපිටත් පොඩි කාලෙ දතක් වැටුනාම අම්ම ඇවිදින් දත වහලෙට විසි කරන්න කියනව ලේනට අරන් යන්න. මම පොඩි කාලෙ නම් ඇත්තටම විශ්වාස කලා හදේ කිරි පැණි ඇතියි කියල. අදත් නිකමට වගේ එළියට බැහැල හද දිහා බලන සමහර වෙලාවට හදේ කිරි පැණි තිබුණනනම් කොච්චර අපූරැද කියල හිතෙන වෙලාවල් තියෙනව. අපිට පොඩි කාලෙ මේ වගේ සුන්දර දේවල් හුගක් තිබුණ. ඇමරිකාව පොඩි උන් closet  එක ඇතුලෙ භූතයො ඉන්නවයි හිතන්න වගේ, අපිත් ඇද යට, ගස් උඩ, ලිද ලග භූතයො ඉන්න කියල හිතාන හිටිය. දැන් දැන් යුරෝපයෙ පොඩි උන් Santa කෙනෙක් නෑ කියල දැන ගෙන ඉන්නෙ. ඇයි උන‍්ට Google තියෙනව. ජෙමාගෙ අදහස නම් පොඩි උන්ට පොඩි කාලයක් තියෙන්න ඕනෙ, තමන්ගෙ මුල් ගැන අවබෝධයක් ලැබෙන්න ආච්චි අම්ම කතන්දර කියන්න ඕනෙ, සීය එක්ක බුලත් කොටන්න ඕනෙ. අල්ලපු ගෙදර යාළුව එක්ක මඩේ නටන්න ඕනෙ. දිනන හැටි, පරදින හැටි ඉගෙන ගන්න ඕනෙ. තමන්ගෙ පැන්සල් කොට් දෙකට කඩල ඉස්කෝලෙ යාලුවට දෙන්න තරම් හිත උනු වෙන්න ඕනෙ. එතකොට තමයි ජීවිතේ අභියෝග ජයගන්න පුලුවන් මිනිහෙක් හැදෙන්නෙ. Grown Ups film එක ඉවර වෙන්නෙ අපි කවුරැ කවුරැත් ඉගෙන ගත යුතු  පාඩමක් පෙන්නල දීල. Lenny ටයි යාළුවන්ටයි ආයෙමත් තමන් පොඩි කාලෙ පරද්දපු පැසිපන්දු කණ්ඩායම හම්බවෙනව. දැන් ඔවුන් වැඩිහිටියො. ඒත් ඔවුන් අභියෝග කරනව ආයෙමත් පැසිපන්දු තරගයක් තියන්න. Lenny මුලදි අකමැති වුනත් පස්සෙ ඒ යෝජනාවට කැමති වෙනව. පැසිපන්දු තරගය දවසෙ අවසාන ලකුණ ගන්න ලැබෙන්නෙ Lenny ට. ඒත් ඔහු හිතා මතාම තමන්ට ලබා ගත හැකි ලකුණ මග හරිනව. හැමෝටම පුදුමයි. ඔහු කවදාවත් මග හැරෙන්නෙ නැති පහරක් ඔහු මග හරිනව. අවසානයේ Lenny තමන්ගෙ බිරිදට කියන්නෙ "එයාලත් ඉදල හිටල හරි දිනන හැටි ඉගෙන ගන්න ඕනෙ එක් නිසයි මම පහර මග හැරියෙ.." අපේ පොඩි උන්ටත් හැමදාම දිනන්න උගන්නන ගමන් පරදින හැටිත් උගන්නන්න ඕනෙ. කෙලින් ඉන්න ගමන් වැටෙන හැටි උගන්නන්න ඕනෙ. එතකොට ජීවිතේ කවදහරි වැටුණු දවසක තමන්ගෙ දෙපයින්ම නැගිටියි. එහෙම නැගිටින්න පුළුවන් කෙනාට තමයි "වැඩිහිටිය" කියන්නෙ

Thursday, March 14, 2013

පාලම යට.....


ජෝජ් අයිය බීල

‘‘ආ නංගී...පාලම යටත් මල් පිපෙනව ඒනං....“
සන්තෝසයි....දුකයි....මේ ලැටිස් ගහපු ලෑලි මාලිගා අස්සේ ඉදන්, සරසවියට යන්න තේරැණා. අරලියගහ මන්දිරෙත් බලාගත්ත. ජනාධිපතිතුමා අත් දෙකෙන්ම අල්ල සුභ පැතුව. හැබැයි උප්පැන්න සහතිකේ කොපියක් ගන්න ගිය වෙලාවෙ, එතන හිටිය ලොකු මහත්තයෙක් ‘‘බ්ලඩි ලෝ ලයිෆ්ස්“ කිය කියා කුටු කුටු ගාන ගමන් ෆයිල් තෝරපු හැටි මතක් වෙනකොට හිතට මොකක්දෝ කහටක් දැනෙනව. අපි ලෝ ලයිෆ් ද, වෙන්න ඇති පාලම යටනෙ.
පත්තරේ පළමුවෙනි පිටුවෙම මගෙ නම දාල, ලොකු අකුරෙන්. තාත්ත උදේ පාන්දර පත්තර කඩෙන් පත්තරේ අරන් එනව මම දැක්ක.
‘‘කෙල්ලගෙ නම පත්තරේ තියෙනව බං, මේ බලහං“ අම්මත් එක්ක කුස්සියෙ කුටුකුටුව.
මම කුස්සිය පැත්තට ගියා, යනකොට අම්ම චීත්තෙන් ඇහැ පිහදාන ගමන් පත්තරේ කියවනව. මගෙ ඇහැත් නලියනව. ආපහු හැරිල ඇවිත් ඇදේ හාන්සි වුනා. කැලණි පාලම උඩින් ලොකු කන්ටේනර්, පෙට්ටි අරන් ලොරියක් යනව පේනව ලෑලි අස්සෙන්.
අල්ලපු ගෙදර, පොඩි එකා කුණුහරප කියනව ඇහෙනව, ‘‘මට අර ගිය මාත්තයගේ පොඩි එකාගෙ වගේ බෝලයක් ඕනෙ බං අම්මෙ අරන් දියංකො‘‘
‘‘කට වහන ඉදහං, ගුටි නොකා උං ලොකු මාත්තුරැ බං....මාර්තගෙ කෙල්ල වගේ ඉස්කෝලෙ ගීන් ඉගෙන ගනින්‘‘

ඇහේ මෙච්චර වෙලා බරට තිබුණු කදුළු ගුලියක් පල්ලෙහාට වැටුණ. පත්තරේ තිබ්බෙ මමත් චංගුමී වගේලු.
Related Posts Plugin for WordPress, Blogger...