Monday, October 30, 2017

සෆ්රාස් උඹට....

උඹට හතලිහයි,
ෆාතිමාට තිහ පැන්න විතරයි
දරුවෝම දුසිමයි
අපේ ගෑනිටනම් නුරුස්සයි
පරිප්පු වඬේ බේසමයි
සරුවාල මොකක්දෝ කලිසමයි
තම්බින්ගෙ තොප්පියයි
‘සිංහල‘ වාත තෙල් කුප්පියයි
අරන් විස්සකට පහක් වික්කයි

ඉඳහිට පොඩි උන්ට
ගනිමි වඩයක් හිතුනාම
සොච්චමට රජයට කඹුරාන
ඉන්න, මට මොකද
වඳ බේත් තිබුනාම

හෙල බොදු බජාර් එකේ බොක්කයි
වලියකදි තිහාරියම බස්සයි
නැති තැනදි ‘තම්බියා දැක්කයි’

උපාවාස අවසන
ලොකු සවානා
පිගානක් ෆාතිමා අරගෙන
අවුරුද්දේම ඔරවන
දසන් දක්වයි අපේ ගෑනිත්
සරුවාංගේම වන වන

පිගානේ
එහා පැත්තේ
හිඳියි අපේ උන්දෑ
යන්තමට දැක්කේ
සෆරාස්ලගෙ අක්කේ
කියා වෙස්ටන් ක‍්‍රමයටයි
බදා ගත්තේ

එන අවුරුද්දේ නෑගම්
යමු අනේ මේව හොඳ පාඩම්
කුකුල් කකුලෙන් වාඩම්
ගනියි සංහිදියාවෙන්
පවසමින් නරි වාදම්

-ජෙමා

Tuesday, December 24, 2013

විශ්වලිංගම් උඹට කොහොමද



සූස්තියක් පත්තු කරගෙන
හැන්දෑවෙ ඇවිදින්
ලැයිම පැත්තට
උඹ එක්ක කදේ දාගෙන
උන්නු බිත්ති කොන්ද
අද්දර තිබුණ
ගණපතිව අමතකව
බාගෙට ඇරැණු
ලෑලි දොර මුල්ලක

අගුරැ කෑල්ලකින් ඇදපු
බලි කුරැටු චිත්තර
සින්න කුට්ටි ස‍රෝජා කැත
කරපු බිත්තිය
අම්ම, අප්ප, අන්න ලොකු අකුරැ
විස්තර

උඹලගෙ ‘‘තලෙයිවා“
නැති වෙච්චි දවසෙදි
කිරිබතක් හදාගෙන
පෙරටු කොට ජයකොඩි
සිංහයෝ ගර්ජනා
හන්දියේ මල් වෙඩි
දොර පොල්ල තදකර
ලංකරගෙන පැටව් ටික
මතක් වෙනවා උඹ
වෙව්ල වෙව්ලා හිටි හැටි

තුන්නුර් ගාගෙන හැමදාම
නලලේ
දුක් පොදි කරතියන් කෝවිල
වන්දනා කෙරැවේ
කුණූ ටැට්ටරේ උඹ ‘‘සිංහල“
කුණුත් ඇද්දෙ
අර යන්නෙ කොටියා
සිංහයො කෑගැහුව ඒත්
මහ සෙනග මැද්දේ

‘‘එල්ලාම පෝච්ච අන්නා‘‘
සිරි අයිය අපි හෙට
යාල්පානම් යනවා
උඹ ඇවිත් කියනකොට
හිත පහුරැගාගෙන
ඇහෙන් කදුලක් පැන්නා
සිංහල හින්දු අවුරැද්දට
කෝචියේම එන්නම්
ආටි වැදිල නැත්නම්
උඹ එක්ක නල්ලූර්
කෝවිල් යන්නම්
ආඩි ලි‍් ගාව හිද
පුරැදු විදියට
සූස්තිය ඔතන්නම්
‘සකුර‘ බීඩිය අදින්නම්

Thursday, December 5, 2013

වීරයා 2 කොටස...

පළමුවෙනි කොටසින්...

ඇලන් කසිප්පු පෙරා විකුණන්නෙකි. සිය මව පියා ගැන හාවක් හූවක් නොදන්නා හෙතෙම ජීවත්වන්නේ සිය මිත්තණියගේ නිවසේය. සිය අනියම් බිරිය වන විනෝදනීගේ නිවසට රාති්‍රෙය් ඇතුළු වූ දිනෙක ව ඇයගේ එකම පුත්‍රයා බන්ටි කිසියම් රෝගයකින් පෙලෙන බව ඔහුට දැන ගන්නට ලැබේ. බන්ටි හුදලකලාව ප්‍රිය කරන රෑපවාහිනියේ කාටුන් නරඹි සුපිරි වීරයෙකු සේ හැද තනියම සෙල්ලමේ යෙදෙන කොලුවෙකි. දිනක් විනෝදනීගේ නිවසේදී, බන්ටිය හදිස්සියේ සිහි මූර්ජාවට පත්වන අතර ඇලන් , විනෝදනී හා ඇයගේ නීත්‍යානුකූල සැමියා කොලුවා රෝහලට රැගෙන යයි.

1 කොටස නැවතත් කියවන්නේ නම්...

එතැන් සිට...

ඇලන් දොඩම් ගෙඩි තුන හතරක් හා මිදි පන්සියයක් මිලදී ගත්තේ බන්ටියා මිදි කෑමට රැචි හෙයිනි. කොරිඩෝවෙන් වමට හැරැණු තැන හයේ වාට්ටුවේ ඇදක බන්ටියා නිදා සිටියේය. වමතට සම්බන්ධ කළ සේලයින් බෝතලයකින් බිදුවෙන් බිදුව සේලයින් සිහින් බටය දිගේ කොලුවාගෙ නහර වලට ඇතුල් වෙමින් තිබිණි.

‘‘අයියෝ...ඇලන් අයියෙ මගෙ කොල්ලා‘‘ විනෝදනී වැලහින්නක් සේ හඩමින් ඇලන්ව බදා ගත්තාය.

‘‘මොකද බං මේකි අඩන්නෙ...කොල්ලට අමාරැද‘‘ ඇලන් කුහුලෙන් ඇලබට්ගෙන් විමසුවේ තමන්ගේ ලෙයින් නොවැදුවද, තමන්ගේ එකෙකුට වඩා ඇල්මෙන් රැක බලා ගත් බන්ටියාට අබග්ගයක් වේ දෝයි යන සැකයෙනි.

‘‘අපි එලියට ගිහින්ම කථා කරමු ඇලන් අයියෙ‘‘ ඇල්බට් ඇහැ පිහ දමමින් වාට්ටුවෙන් ඉවත් වූයේ, ජේලර් බැල්මක් හෙලමින් එතැනට පැමිණි නර්ස් නෝනා කෙනෙකු දුටු හෙයිනි.

‘‘පහුගිය දවස් දෙක තුනේම දොස්තර මහත්තුරැ පරීක්ෂණ සෑහෙන්න කළා‘‘

‘‘ඉතින්...‘‘

‘‘ඒ මහත්තුරැ අද තමා හරියටම..කිව්වෙ ඇලන් අයියෙ..‘‘

‘‘මොකක්ද යකෝ කිව්වෙ කියාපියකො‘‘

‘‘කො..කොල්ලට ලියුකේමියාවලු‘‘

ඇලන්ට තමන්ගේ ඇහෙන් කදුලක් පැමිණි දිනක් මතකයේ නැති තරම්ය. නොදියවෙන ගල් හිතක් ඇතැයි කියන තක්කඩි ඇලන්ගේ ඇහන් කදුලක් පැන්නේය. හිතට දැනුනු මොකක්දෝ මදි කමක් නිසා ඇල්බට් දකින්නට කලියෙන් ඇහැ පිහදාගත් හෙතෙම ඇල්බට්ගේ පිටට තට්ටුවක් දැම්මේ අපරිමිත ස්නේහයකිනි.

‘‘උඹ බයවෙන්න එපා ඇල්බො..අපි මොනව හරි කරන්න බලමු..ඕන දේකට මම ඉන්නව‘‘
--------------------------------------------------------------------------
බන්ටියා පසුගිය මාසයට දෙකට පරඩැල්ලක් සේ ඇදී ගොස් ඇත. දැන් උගේ බැට් මෑන් සෙල්ලමද වෙනදා මෙන් ක්‍රියාශීලී නොවේ. ඉදහිට දිනෙක ‘‘සුපරැදු සාලුව‘‘ ද බැදගෙන පිල උඩ හිද ලොකූ කල්පනාවක යෙදෙන බන්ටියා ඇලන් අල්බට්ගේ නිවස අසලින් යන එන විට වරින් වර දැක ඇත. විනෝදනී තේ කහට කෝප්පයක් රැගෙන ඇලන් අසලින් සිට ගත්තාය.

‘‘කොල්ලගෙ නෙමෙයි, ඇලන් අයියෙ මේක අපේ පූරැවෙ කරැමයක්‘‘

‘‘දොස්තර මහත්තුරැ අර බෝන් මැරෝද මොකක්ද කියන ඔපරේෂන් එක ගැන මොකද! කිව්වෙ‘‘ ඇලන් කහට කෝප්පය තොල ගාමින් විමසීය.

‘‘ඉක්මනට කර ගන්න තරමට හොදයි කිව්වෙ...ලක්ෂ ගාණක් වියදම් වෙනවලු...ප්‍රයිවෙට් කරනවනම්..ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් කරගන්න පෝලිමේ ඉන්න ඕනලු...ඒකත් විශ්වාස කරන්න බැහැයි කියන්නෙ‘‘
ඇය ඉකි බිදින්නට පටන් ගත්තාය.

‘‘මගෙ කොල්ලව මේ අත් දෙකෙන් නම් පස් වලට යට කරන්න මම පණ පිටින් ඉන්නෙ නෑ ඇලන් අයියෙ..අම්මාපල්ල...ගගක මූදක පැනල හරි පණ නහ ගන්නව‘‘

ඇලන්ගේ පපුවට යබොර තට්ටුවක් අතහැරියක් මෙන් මහා බරක් දැනෙන්නට වූයේය. කිසිදා ඉතිරියක් ගැන නොසිතූ ඔහු ජිවිතයේ පළමුවරට කසිප්පු රස්සාවෙන් කීයක් හෝ ඉතිරිකර නොතැබීම පිළිබ‍්ද පසුතැවිලි විය.

කිසිවක් නොකියා ඇලන් හුන් තැනෙන් නැගිට්ටේය.

‘‘අයිය..ඔය..යන්ඩද‘‘

‘‘නෑ බං..කෝ..කොල්ල

‘‘ඇදේ ඉන්නෙ..තාම..උණ‘‘

ඇලන් ඇද ලගට යනවිට බන්ටියා මෙට්ටයේ කොණක් කොනිති ගහමින් උඩබලාගත් වනම සිටියේය. කොලුවාගේ දෑසේ වෙනදා තිබූ ජීවය සිදී ගොස් අජීවි හිස් බවක් පෙනේනට තිබිණි.

‘‘බන්ටි පුතේ‘‘ ඇලන් දොඩමලු වූයේය.

‘‘ඇලන් මාමේ..‘‘

‘‘කොහොමෙයි උඹට..කෝ උඹේ බැට්මෑන් සාලුව‘‘

‘‘අර ඇද විට්ටමේ තියෙන්නෙ...‘‘

‘‘කෝ..හිටපන් මං ගන්න‘‘

ඇලන් ඇද විටටමේ එල්ලා තිබූ කොලුවාගේ ‘‘බැට්මෑන් සාලුව‘‘ අතට ගත්තේය.

‘‘බලාපංකො...උඹ කාලෙකින් මේක ඇදල නැති පාටයි මකුළු දැලුත් බැදිල‘‘

‘‘අම්ම දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ..මාමෙ මට සනීප නෑනෙ....ටික දුරක් දුවද්දි ඔලුව කැරකෙනව වගේ දැනෙනව..ඒක හින්ද මම දැන් සෙල්ලමට යන්නෙ නෑ‘‘

ඇලන් දෑතින් පරණ සරම් කඩමාල්ල පොඩි කරගත්තේ දෑසේ බර වෙන කදුලු කැට සගවා ගැනීමට හයියක් සොයමිනි.

‘‘හිටපන් මම උඹව හෙට සෙල්ලම් කරන්න එක්කගෙන යන්නම්...‘‘

‘‘පුතේ...‘‘

‘‘ඇයි...මාමෙ‘‘

‘‘උඹට මොනවද ඕනෙ...ඕනැ දෙයක් කියපන් මම උඹට ගෙනත් දෙන්නම්‘‘

‘‘මට මොකුත් ඕනෙ නෑ මාමෙ‘‘

‘‘උඹේ ඔය බැට්මෑන් නරක මිනිස්සු අල්ලනවා නේද‘‘

ඔව්‘‘

‘‘ අල්ලල මොකද කරන්නෙ...‘‘

‘‘පොලීසියට භාර දෙනව‘‘

‘‘ඊට පස්සෙ...‘‘

‘‘මිනිස්සු අප්පුඩි ගහනව..බැට් මෑන්ට වීරය කියනව‘‘

බන්ටියාගේ දෙකොපුල් රතු පැහැ ගැන්වී දෑස දැල්වෙන්නට වූයේ ඇලන් බැට්මැන් කථාව විමසූ බැවිනි.

‘‘උඹත් ආසද වීරයෙක් වෙන්න‘‘

‘‘වීරයෙක්....‘‘ බන්ටියා කොහෙන්දෝ ලැබුණු ජවයකින් ඇද මත සිට ගත්තේය.

‘‘ඔව් මගෙ පුතේ වීරයෙක් වෙන්න...නරක මිනිස්සු අල්ලන්න..අල්ලල පොලීසියට භාර දෙන්න.‘‘

‘‘ආසයි..ඇලන් මාමෙ...ආසයි‘‘

‘‘එහෙනම් හෙට උඹේ බැට් මෑන් සාලුවත් දාගෙන ලෑස්ති වෙලා හිටපන් නරක මිනිස්සු අල්ලන්න යන්න..අම්මට එහෙම කියන්න එපා...මේක උඹෙයි මගෙයි රහසක්..හොදේ‘‘

‘‘මගෙ හොද ඇලන් මාම‘‘ බන්ටියා දෝතින් ඇලන්ව බදා ගත්තේය. තමන්ට කිසිදිනක නොදැනුනු අසීමිත දාරක ස්නේහය ඇග කිලිපොල යමින් දැනෙනයුර හෙතෙම අත් වින්දේය.
--------------------------------------------------------------------------
සියලු පෙර සූාදනම් කළ ඇලන්, උක්කුවාට වෙනදාටත් කලියෙන් ගෝඩ හැලියට දර දමන්නැයි නියෝග කළේය. සගවා තිබූ සියලු කසිප්පු බූලි ද මඩුවේ පිළිවෙලකට අඩුක් කළේය.

‘‘ඇලන් අයිය බඩු එලියට ගන්නෙ...ලොකු ඩීල් එකක් ලැබුණද‘‘ උක්කුවා විමසුවේ කුහුලෙනි.

‘‘කියපු වැඩේ කරපිය..වේ...ගෙ පුතා..මගෙ යකා අවුස්සන්නෙ නැතුව‘‘

ඇලන් සරම කැහැපට ගසාගෙන, ස්පිරිත්තු වීදුරැවක් එක හුස්මට බීවේය.

‘‘මම ඉක්මනට එතකං උඹ ඔහොමම හිටපං..බඩු ටිකත් එහෙමම තියපං උක්කුවො‘‘

 ‘‘මම කෑ ගැහුවට හිත නොරොක් කර ගන්න එපා බං...අද මට ටිකක් සනීප මදි වගේ‘‘

යි කියමින් ඇලන් උක්කුවාගේ පිටට තට්ටුවක් දැම්මේ, බිමට යොමාගත් දෑසින් යුතුව සිටි උක්කුවා අස්වසාලන අටියෙනි.
--------------------------------------------------------------------------
බන්ටියා පෙරොන්දු වූ පරිදිම ‘‘බැට්මෑන්‘‘ සාලුව පැලැද කඩුල්ල ලගට වී මග බලා හි‍දියි.

‘‘විනොා්දනියේ මම කොල්ලව කඩේට එක්කරගෙන ගිහින් එන්නම්

 කඩුල්ල ලග හිදම ඔහු උලුවස්සට හේත්තු වී හිදින විනෝදනි අමතා පැවසීය.

‘‘අනේ පරෙස්සමෙන් ඇලන් අයියෙ..මේක ලෙඩානෙ..උඹ දන්නවනෙ
‘‘උඹ බයවෙන්න එපා..මම උ!ව හන්දියට එක් කරන් යන්නෙ‘‘

බන්ටියා දුවවිත් ඇලන්ගේ අතෙහි එල්ලුණේ ‘‘ඇලන් මාමෙ නරක මිනිස්සු අල්ලන්න යනවද? ‘‘ යි රහසින් මෙන් අසමිනි. කොල්ලාගේ ලෙඩ ගතිය සම්පූර්ණයෙන්ම පාහේ පහව තිබුණේය. කිසිත් නොකියා දායාද ගන්නට අතේ එල්ලුණු රාහුලයන් මෙන් තමන් පසුපස එන බන්ටියාගේ ඉල්ලීම ඉටු කරන්න ඇලන් එක හිතින් සූදානම්ව සිටියේය.

‘‘යමන්කො...මම පෙන්නන්නම්‘‘
--------------------------------------------------------------------------
ඇලන් බන්ටියා වත්තන් කරගෙන ඇල ඉවුර පැන, සිය සුපුරැදු කසිප්පු තිප්පොලට මීටර් සියයක් දෙසියයක් ඈතින් වූ මානා පදුරකට මුවාවූ ඇලන් කොලුවාව ඒ අසලට කැදෙව්වේය.

‘‘පුතේ උඹට මතකද අපි දැන් ආපු පාර‘‘

‘‘මතකයි මාමෙ....‘‘

‘‘උඹට අර ඈතින් පේනවද..මාමෙක් බැරල් එකකට ගින්දර දානව‘‘ උක්කුවා ගෝඩා බැරලය රත්කරන දෙසට අත දිගු කොට ඇලන් බන්ටියාගෙන් විමසුවේ රහස් මෙහෙයුමක් යෙදෙන නිලධාරියෙකු මෙනි.

ඔව් මාමෙ‘‘

‘‘ ඒ නරක මනුස්සයෙක්...‘‘

‘‘උඹ දැන් මම කියන විදිහට කරන්න ඕනෙ‘‘

‘‘හරි මාමෙ මම මොනවද කරන්න ඕනෙ...‘‘

‘‘තව පොඩ්ඩකින් පොලීසියෙ මාමල එයි...හන්දිය ලගට උඹ කියන්න ඕනෙ බැරල් වලට ගින්දර දාන නරක මාමල ඉන්න තැන උඹ දන්නව කියල..ඊට පස්සෙ පොලීසියෙ මාමල මෙතනට එක්ක එන්න ඕනෙ‘‘

බන්ටියාගේ දෑස් දිදුලමින්, විමතියෙන් මෙන් ඇලන් දෙස බලා සිටියේ, ඇලන් මාමා තම නරකයන් ඇල්ලීමේ සිහිනය සැබෑ කරන්නට සූදානම් වන බව වැටහුණ නිසාවෙනි.

‘‘තේරැණාද!‘‘

‘‘තේරැණා මාමෙ‘‘

ඇලන් තමන්ගේ ජංගම දුරකථනය ගෙන වේවැල් ඇල්ල පොලීසියෙ අංකය ඇතුලත් කළේය.

‘‘හෙලෝ මහත්තයො..වේවැල් ඇල්ල පොලිසිය නේද‘‘
‘‘ඔව්‘‘
‘‘මම පොඩි ටිප් එකක් දෙන්න කථා කළේ‘‘
--------------------------------------------------------------------------------
‘‘තුං මේ ගස් බල්ලන්ව හම ගහල හන්දියෙ හිටවන් තිබ්බෙ..මේ මහත්තුරැන්ට‘‘ හන්දියේ ගැහැණියක් ඇසනෙ නෑසෙන ගානින් දොස් පවරන අයුරැ ඇලන්ට ඇසේ. වම් කණ හරහා එල්ල වූ බැටන් පොලු පහරින් කණ තුවාල වී ලේ ගලන බවක් ඔහුට දැනුනේය. ඔහු අමාරැවෙන් මෙන් බෙල්ල හරවා උක්කුවා දෙස බැලීය. පා පහරින්, බැටන් පොලු හා රීප්ප පහරින් තුවාල වූ උක්කුවා කෙරෙහි ඇලන්ගේ සිතේ අනුකම්පාවක් ඇති වූයේය. තමා අපාගත වුවද උක්කුවාත් තමා පසුපස එනබව දත් හෙතෙම තමන් කළ දේ පිළිබද හෘද සාක්ෂිය හා වාද කරන්න වූයේය.

‘‘වේවැල් ඇල්ලෙ ඇලන් අයියා...අයිය නේමේ ප...ය නැගපිය බල්ල ජීප් එකට, අද බඩුත් එක්කම මාට්ටු‘‘

‘‘සර් අර පොඩි එකා තමා ස්පොට් එකට පාර පෙන්නුවෙ...මූට දැනගන්න තියන්න එපා...ඇලන් කියන්නෙ යකා වගේ මිනිහ‘‘

කොස්තාපල් වරයෙක් එස්.අයි මහත්තයාට පවසනු ඇලන්ට ඇසුනද, නෑසුනාක් මෙන් හිස පහත් කරගෙන ජීප් රථයට ගොඩවූයේය. දෑතේ මාංචු කුට්ටමේ තද වැඩි කමටදෝ ඇලන්ගේ දෑත් වෙව්ලන්නට විය.

පොලිස් ජීප් රථය විනෝදනීගේ නිවස පසුකරමින් තිබිණි. කඩුල්ල ගාව හිදින දෑත ඉනේ තබාගෙන ලෙලදෙන සාලුව පැලද ‘‘නරකයන් පැරදවූවීරයා සිටිනු ඇලන් ඈත තියාම දුටුවෙන්, කොලුවාට මුහුණ නොපෙනෙන පරිදි ඇලන් දෑතින් මුහුණ වසා ගත්තේය. පොලිස් ජීප් රථය කඩුල්ල පසුකරත්ම ‘‘ජෝකර් මම උඹව ඇල්ලුවායි‘‘ බන්ටියා සතුටින් කෑ ගසන අයුරැ ඇලන්ගේ තුවාල වූ කණට යාන්තමට මෙන් ඇසුනේය.

Monday, December 2, 2013

වීරයා

‘‘කිරි අම්මෙ බඩගිනියි බං..මොනාද කන්න තියෙන්නෙ‘‘  ඇලන් සරම කැහැපට ගහගෙන උක්කුටියෙන්වාඩිවුනේ, ආයා කටුවකින් කණ හාරමිනි.

‘‘කසිප්පු ග‍ද බං...ඔය ජරාව නොබී ඉන්න බැරිද බොට..එක දවසකටවත්...‘‘

‘‘ඇගේ අමාරැවටනෙ බං බොන්නෙ...හා..උඹ ආතප්පච්චිට බැනාඩගානවද...කවදාවත් රා කට්ටක් ගැහුවට..මට නම් ඇහිල නෑ.....දුංකුඩු වලට පෙනාළු කුණු වෙනකම් උඹ වචනයක්වත් කිව්වද නෑනෙ...‘‘

‘‘අනෙ මගෙ...කට...අර මැරිච්ච මනුස්සයට ආඩපාලි නොකිය...බීගත්ත නම් උඹේ වෙරි අර හොර ගෑණිට පන්නපන් මට පෙන්නන්නෙ නැතුව‘‘

‘‘කිරි අම්මේ...උඹත් මගෙ යකා අවුස්සන්නයි..හදන්නෙ...ඔව් යකෝ විනෝදනී හොර ගෑණි තමා මගෙ..ගමේ එක එක වේ...යො වගේ උඹත් ආඩපාලි කියන්න ආවොත්...ඇල්බ..හතරකොනේ බාවල...හෙටම ඒකිව අරන් උඹෞ පුකටත් පයින් ගහල එලෝල...“
ඇලන් කුස්සියෙන් පිටත් වුනේ හිරමනය මත බෙදා තිබුණු බත් පතටද පයින් පාරක් ගසමිනි.

‘‘දෙයි හාන්දුරැවනේ...මේක වගේ වසවර්තියෙක් බෙදල තිබ්බ බත් පතටනේද බොල...බොණ්ඩිගෙ පුතෝ පයින් ගැහුවෙ...තෝ එක හොර ගෑණියෙක් නෙමෙයි දහයක් ගෙන මගෙ මොකෝ...තොගෙ අම්ම අප්ප දඩාවතේ ගියවෙලේ බෙල්ල ලගින් අල්ලල...පොල් ලෙලි වලේ ගහපු නැති එකේ වරද තමා මේක...වරකො වෙරි හිදුනාම..මගෙ කිරි අම්මෙ කියාන...ඉලපත නෙමෙයි මම මෝල්ගහ ගන්නෙ අම්මප...
.
වෙරිමතේ කඩුල්ල පනිද්දී එරමිණියා ගාලක කකුල පැටලුණත්, පස්ස නොබලාම පාරට වැටුණේ කිරි අම්මා සමග රණ්ඩු ඇල්ලීමට ඇලන් දැක්වූ නොකැමැත්ත හේතුවෙනි. ගෝඩ හැලිය උතුරන තෙක් ස්පොට් එකේ පරිස්සමට තැබූ උක්කුවා කෙරෙහි ඇලන්ගේ කිසිදු විශ්වාසයක් නැත. බූලි තිහ හතළිහක් පුරවා ටකරං අස්සේ ගසා තිබෙන බැවින් හදිස්සියකදී එහා මෙහා කරන්නට තවත් එකෙකු දෙන්නෙකු එකතු කරගැනීමට ඔහු මෑතක සිට කල්පනා කරගෙන සිටියද, හිතේ ගට තියෙන කොල්ලෙක් කුරැට්ටෙක් මෙතෙක් සොයා ගන්නට ඇලන්ට නොහැකි විය.

වේවැල් ඇල්ලේ ඇලන් වූ කලී, වේවැල් ඇල්ල පමණක් නොව අහල ගම් හත අටේම කුප්‍රසිද්ධ චරිතයකි. ‍ෙකේ පන්තියට ඉගෙන ගෙන, ඉස්කෝලෙ ලොකු මහත්තයාට බහ තෝරණ වියේදීම ‘‘හු...ගෙ පුතා“ යැයි ආමන්ත්‍රණය හේතුවෙන් පාසලෙන් නෙරපූ කට්ට කළු නාහෙට නාහන කොළුවාගේ උප්පැන්නේ සදහන් නම වන්නේද, ඇලන් අප්පුහාමි ලෙසිනි. ඇලන්ගේ අම්මා, තාත්තා ගැන ඔහු අදටත් දන්නේ ගමේ කනෙන් කොනෙන් ආරංචි වන ඔපාදූප සහ කිරිඅම්මා ආවේස වූ විටෙක බැණ අඩ ගසන ඒවායින් අහුලාගත් තොරතුරැ පමණි. ඇලන්ගෙන් අම්මා තාත්තා ගැන විමසන්නට තරම් හයියක් ඇත්තෙකු වේවැල් ඇල්ලේ නම් නොවේ. වරක් ඔහුට අම්මාගෙ පදය කියා බැණ අඩ ගැසූ ගස් සිරිපාලට කැත්තෙන් කොට සිව් වසරක මහ උළු ගෙයි අච්චුවිද පැමිණීයද ඔහුගේ කෙරැවාවේ වෙනසක් නොවිණී.

‘‘ගෝඩ එක බැලුවද බොල...උඹ“ ඇල කණ්ඩියෙන් වැනි වැනී ගොඩවූ ඇලන්, ගෝඩ හැලිය පසෙක අයාගත් මුවෙන් යුතුව නිදි කිරණ උක්කුවාගෙන් විමසීය.

‘‘බ්..බ්..බැලුව ඇලන් අයිය බැලුව දැන් ගාන...“

‘‘ගාන තමයි...මට පේනව උඹටත් ගාන කියල...ඇදල දාල තියෙන්නෙ ඉස්පිරිත්තු වලින්ම...බොකු දියවුනාම..ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට පල...කාටවත් කරදරයක් නැතුව උංම..වලලදායි..නැගිටපිය...කැ...ය“

‘‘පො...පො..පොඩ්ඩයි..ගත්තෙ..ඇලන් අයිය..‘‘ දෙපසට වැනෙමින් උත්තර දෙන උක්කුවා කසිප්පු කාලක්වත් තොල කට ගා ඇති බව ඇලන් හොදින් දනී. හොරාට වීදුරැවක් බිව්වාට ගමේ විශ්වාස කළ මට්ටමේ එකෙකුට ඇලන්ට සිටින්නේ උක්කුවා පමණි.

‘‘පොඩ්ඩ අම්මගෙ රෙද්ද..පල යන්න දැන්...මෙතන කබරය වගේ බුදියන්නෙ නැතුව‘

‘‘අරි..අරි ඇලන් අයිය..ඔක්කොම අරි...‘‘

‘‘ආ..මේකත් අරන් යන ගමන් ගෙදර වුන්ට හාල් තුනපහ ටිකක්වත් ගෙනියපිය...‘‘ ඇලන් උක්කුවා අත රැපියල් සියයක් අතමිට මෙලවීය.

‘‘පි..පි..පිස්සුද ඇලන් අයියා..බිස්නස් වුනාම කීයක් හරි දෙන්න..අපි ඉතින් බොක්ක තමා‘‘

‘‘හරි...මේක අරන් පල..මගෙන් කුණුහරප නාහ..‘‘  ඇලන් පෙරැත්ත කොට දිනපතා උක්කුවා අතට වියදමට කීයක් හෝ අතමිට මොලවන්නේ ස්පොට් එකේ බඩුඑහා මෙහා වන වේලාවන්, නිතර යනඑන කස්ටමර්ලා ඇතුළු පැටිකිරිය හොදින් දන්නා එකම බාහිර පුද්ගලයා උක්කුවා වීම හේතුවෙනි. ඒ හැරැණු විට ගුල්ම ගායට බෙහෙත් ගන්නා බඩ ඉදිමුණු උක්කුවාගේ ලොකු කොලුවාත්, පැලට ගොඩවෙන හැම වේලාවකම ඉනි උකුනන් අහුලන කිලිටු ගවුම් කඩමාල්ලක් හැදගත් බාල කෙල්ලත් දුටුවිට පපුව හීරෙන මොකක්දෝ ආගන්තුක හැගීමක් ඇලන්ට දැනෙන හෙයිනි.
---------------------------------------------------------------------------------
ඇලන් පස්සා දොරෙන් ගෙට ගොඩවෙන විටත් විනෝදනී, පැළැල්ල බාගෙට විවර කොට කුප්පි ලාම්පුව පිල උඩ තබා තිබුණාය. ඇල්බට් රෑ වැඩමුරයට බුරැසු අඹරන්නට යන්නට ඇති බව විනෝදනීගේ සුපුරැදු සඥාවෙන් ඇලන් දැන ගත්තේය.

‘‘පොඩි එකා නිදිද බං“

‘‘ඔව් මේ දැන් නිදාගත්තෙ...තවම සහලෝල උණ ඇලන් අයියෙ..“

‘‘උණ..උඹ වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක්වත් තම්බල දුන්නෙ නැද්ද..“

‘‘දුන්න..ඔන්න දැන් නම් ටිකක්...උණ බැහැගෙන යන පාටයි“

තමන්ගේ එකෙක් නොවුණාට ඇලන් තුල බන්ටියාට ඇත්තේ අපරිමිත සෙනෙහසකි. විනෝදනී වාගේම තලෙළු පාටට, ඉත්තෑකූරැ කොණ්ඩයක් සහිත බන්ටියා ගමේ අනෙක් පොඩි එවුන් මෙන්, කල්ලි ගැසී ගස් කොටන්නේවත්, ටින් පෙරලන්නේවත් නැති අමුතුම පන්නයේ එකෙකි. අසල්වැසි ග්‍රාම සේවක මහත්තයාගේ ගෙදරින් හතරයි තිහේ, කාටුන් එකක් නරඹා එන බන්ටියා දිනකට ඇල්බට්ගේ සරම් කබලක් කරවටේ දවටාගෙන ගෙයි වටේ දුවයි. ‘‘ජෝකර් උඹ කොහෙද...ඔන්න එනව බැට්මෑන්“ කියමින් බූල් ඇපල් ගහේ අත්තක එල්ලී බැට්මෑන් වන බන්ටියා තවත් දිනෙක, කොහෙන්දෝ හොයා ගත් ඔරලෝසු මුහුණතක් අතේ බැදගෙන ‘‘වේග බට්ටා‘‘ යැයි කයමින් බෙන්ටෙන් රග දක්වයි. මේ සෙල්ලමට ඇල්බට්, විනෝදනී හෝ ඇලන් එක් නොවන්නේ උගේ කෝලම් නොතේරැම පමණක්ම නොව, බන්ටියා සෙල්ලමට වෙන කිසිවෙකු ඈදා ගැනීමට වන අකමැත්තද හේතුවෙනි.

‘‘කොල්ල හොදටම සුදු මැලි වෙලානෙ බං..තොපි කන්න දෙන්නෙ නැද්ද මූට...ඇල්බට කියපිය..සිල් රෙද්ද ගලෝල ගෙදෙට්ට හරක් මස් ටිකක් ගෙනැත් කන්න දෙන්න කියල මේකට..අැගේ ලේ ටිකක් වඩන්න..‘‘

ඇලන් කුප්පි ලාම්පුව බන්ටියාගේ මූණට ලං කර විමසිලිවත් බැල්මක් හෙලුවේය. කොලුවා හිනාවෙන නොවෙන ගානට නිදා සිටින්නේ, උගෙ පන්නයේ හීනයක් බලමින් විය හැක.  හෙතෙම පිටි අත්ල තබා නැවතත් කොල්ලාගේ උණ බැස ඇත්දැයි බැලුවේ, කොත්තමල්ලි වලින් සුවයක් නැතිනම් පැනඩෝල් පෙත්තක් හෝ ගෙනැවිත් දීමේ අදහසිනි.

‘‘දැන්නම්...උණ අඩු පාටයි‘‘

‘‘කොල්ල ඇහැරැණොත් ඇලන් අයියෙ...උඹ එක්ක ඔට්ටු වෙන්න හදයි..ඒක හින්ද උූ ඔන්න ඔහෙ නිදාගත්තාවෙ‘‘

‘‘නවයයි තිහේ බස්එකත් ගියා ඇලන් අයියෙ..මටත් නිදි මතයි බං‘‘ යි කියමින් විනෝදනී දොර රෙද්ද මෑත් කර ඇලන් දෙස බලා කුප්පි ලාම්පුව නිමා දැමුවාය.
---------------------------------------------------------------------------------
‘‘මොකක්ද බන්ටියො මේ කරේ එල්ලන් ඉන්නෙ‘‘

‘‘ඒක තමයි බැට් මෑන්ගෙ සාලුව‘‘

‘‘උූට මොකටද සාලුවක්‘‘

‘‘බැට් මෑන් උඩින් යනකොට එතකොට වවුලෙක් වගේ පේන්නේ..මෙමන්න මේම...‘‘ බන්ටියා ඇලන්ගේ ඔඩොක්කුවෙන් බිමට පැන කරේ දවටාගත් සරම් කඩමාල්ල ලෙලවමින් ගේ වටේ දුවන්නට වූයේය.

‘‘මූට තියෙන අමුතු ජාතියෙ පිස්සුවක්‘‘ ඇල්බට් බුලත් හෙප්පුව ඇලන් වෙත දික් කරමින් ඔහු අසලින්ම හිද ගත්තේ නිදි ගැට කඩමිනි.

‘‘නයිට් එක ගැහුවාම දවාලට මලා වගේ නින්ද යනව බං‘‘

‘‘ඈ බං ඇල්බො කොල්ල ඇදිල ගිහිල්ල වගේ නේද...කෑම බීම අඩුපාඩුවක් තියෙනවනං කියහං මම ගෙනැල්ල දෙන්නම්...උඹ මොකද මම මොකද‘‘

‘‘පිස්සුද...ඇලබට් අයියෙ..එහෙම දෙයක් නෑ..හැබැයි කොල්ලව නම් අනුරාධපුර මහ ඉස්පිරිතාලෙටවත් ගෙනියන්න හිතාන..ඉන්නෙ..දැන් ටික දවසක ඉදන් උණ බහින්නෙ නෑලු...විනෝදනිය කියනකං මං දැනං හිටියෙත් නෑ..‘‘

ඇල්බට්ගේ ඇත්තේ ඇලන්ට ඇති ලැදියාවට වඩා බය පක්ෂපාතී කමකි. ගමම හොල්ලන් ඉන්න ඇලන් අයියා ඉ්‍හිට හෝ තමන්ගේ ගෙදරට ගොඩවදිනා දිනට හැකි ඉහළම සැලකිල්ල දක්වන්නට ඇල්බට් උත්සුක වේ. බ්‍රෂ් වැඩපොලේ මැනේජර් මහත්තයා සමග තිබුණු විරසකය දුරදිග යාමෙන් තම /ිකායව නැතිවීමට ඔන්න මෙන්න තියා තිබියදී ඇලන් අයියා මැදිහත් වී මැනේජරයාගේ සැර බාල කළ ආකාරය ඇල්බට් හට කිසිදා අමතක නොවන්නකි. කඩපිලේ උන්ගෙන්, ත්‍රීවිල් පොලේ උන්ගෙන් කනින් කොනින් ඇහෙන ඕපාදූප ගණනකට නොගෙන හිදින ඇලබට්, විනෝදනී ගැන දෙපිට කැපෙන කථාවක් ඇසුන විටෙක නෑසුනාක් සේ හිදින්නේ ‘‘ඒකි එහෙම එකියක් නෙමෙයි‘‘, ‘‘අනික ඇලන් අයිය හිත හොද මිනිහ වලත්තවෙය නෙමේ‘‘ යනුවෙන් විවිධ තර්ක වලින් හිත හදා ගනිමිනි.

‘‘ඒයි...මෙහෙ එන්නකෝ..කොල්ලට කලන්තෙ දාලා වගේ‘‘

කුස්සිය පැත්තේ රෙදි වනමින් සිටි විනෝදනී බෙරිහන් දුන්නාය. ඇල්බට් හා ඇලන් බූල් ඇපල් ගහ අද්දරට ලගා වන විටත් බන්ටියා අවසගව විනෝදනීගේ උකුලේ වැතිර හුන්නේය.

‘‘මම මූට කිව්ව මද්දහනේ ගේ වටේ නටන්න එපා කියල‘‘ ඇල්බට් ආඩපාලියක් කියමින් කොල්ලාව වත්තන් කරගන්නට තැත් කරත්ම ඇලන් මැද්දට පැන්නේය.

‘‘මෙතන මගුලක් කථා කරන්නෙ නැතුව ගිහින් ත්‍රී වීල් එකක් අරන් වර කොල්ලව ඉස්පිරිතාලෙ අරන් යන්න“
---------------------------------------------------------------------------------

මතු සම්බන්ධයි....

ප.ලි.
(භාෂා භාවිතය විවේචන තිබීමට පුළුවන..ගල්, මුල්, මඩ සියල්ල සදහා විවෘතයි.)

Wednesday, November 20, 2013

සංක්‍රාන්තියේ මතක...


ජෙමාගෙ සංක්‍රාන්ති කාලයේදි ලියවෙච්ච නිසදැස් කීපයක් පොස්ටුවක් විදිහිට දාන්න හිතුන...ලියපු කොල කෑලි වේයො කාල, පුස් කන්න කලියෙන් ඩිජිටල් තෝම්බුවක දාල පරිස්සමට තියන අරමුණින් තමයි මේක කළේ..(ජෙමා කවියෙක් නෙමෙයි...පහලින් තියෙන්නෙ රහක් තියෙන මිනිහෙක් වෙන්න ගන්න උත්සාහයක එහෙන් මෙහෙන් අහුලගත්ත පද පේලි කීපයක් විතරයි.)


ජෙමා ගොඩයෙක්...කොළඹ තදාසන්න වුනාට අපිත් වෙලේ පැනල..ඇලේ නාල හැදිච්ච උන්..ජෙමාගෙ ගොඩේකම ගැන ලියවිච්ච පද පේළියෙක් මේ...

මමත් ගොඩයෙක්

අප්පච්චි එක්ක
හරි හරියට නියර බදින..පෝරැ ගාන
කොස්, පොළාස් නැති බත
දැක්කාම මූණ ඇඹුල් වෙන
හදිස්සියකට ගෙදර
පොල් ගහේ බඩගාන
හිතුනාම පෝයකට 
පන්සලේ සිල් ගන්න
පහල ඇල ගාව හිද
නල හදයන් ගණින
මමත් ගොඩයෙක්

අපි යද්දි එද්දි කාක බෝ ගස් දකිනව..කාක බෝ වගේ මිනිස්සුත් දකිනව..

කාක බෝ
කාක වසුරෙන්
පිදෙන
හිඟන දෙවිවරු
වඩින
තුන්මන් හංදියේ
තනිකඩව වැඩ හිඳින
බෝධින්නාන්සේ පට්ටමින්
පුදන කෙනකුන් නොවන

ජෙමා දැක්ක අම්මගෙ අපරිමිත අව්‍යාජ, සෙනෙහස..

අම්මා

ගෙදර ඔක්කෝටම හොරෙන්
මාළු හොදි ඇතිලියෙන්
ලොක මාලු කෑල්ලක්
මට අරන් තියාගෙන...
අම්ම
දංකඩේ පිගානට බෙදාගෙන...

මීරිගම පැත්තෙ යන එන කට්ටිය දන්න තැනක් තමා සුදු බෝධිය, මොකක් හරි කරදරයක් වෙච්ච හැම වෙලාවකම වගෙ ශ්‍රද්ධාව, භක්තිය විශ්වාසය කොහොම වෙතත් සුදු බෝධි යන්න හුග දෙනෙක් උනන්දු වෙනව...

සුදු බෝධිය
නැතිවෙච්ච හවඩියට
පොඩි දුවගෙ අපලයට
මාරි අම්මා පඩුරැ බැදලා
හිතේ දුක්පොදි අහක් කරලා....

බොහොම දෙනෙක් වෙසක් මාසෙදි දකින්නෙ ගහපු තොරණ හැබැයි ජෙමා දැක්ක ගලවපු තොරණවල, ලොකු කථාවක් තියෙන බව...

ගලවපු තොරණ

උඩම කොටුවක හුදෙලාවට
බුදුහාමුදුරැවො තනිවෙලා
සැදැහවත් සංවිධායකයෝ
පින් කැටය ලග  වටවෙලා....

නිරාමිසකම ගැන පොඩි සාදු , දේශනා නොකර උගන්නපු කවදාවත් අමතක නොවන බණ පදය..

නිරාමිස

පන්සලේ බොධියෙන්
වැටෙන බෝපත් දිහා
පොඩිසාදු හිනවෙන් බලාගෙන ඉන්නවා
මම ගෙදර රෑ බතට මාළුපින්නට
දෙයක් ණයට ගන්නේ කොහොම හිත හිතා
පැන් කලේ හලනවා...

ජෙමාට අක්කෙක් නෑ, හැබැයි සහෝදරියක් වගේ ඇසුරැ කරපු අක්කෙක් හිටිය, ජෙමා හම්බවෙන හැම දවසකම වගේ තමන්ගෙ පපුවෙ තියෙන දුක දමල ගහල, හිත හදාගන්න එක එයාගෙ පුරැද්දක්..


අක්කා

අම්මගෙ පපුවෙ අමාරැව
අද ආයෙත් වැඩිවෙලා
තෙල් බෙහෙත් ගෑව ඇති
යමු ඩොක්ටර් කෙනෙකට 
පෙන්නන්න..

මටත් අතමිට හිගයි 
අක්කේ ඩෙනිමත්
හිල්වෙලා...
දාහක් ඇතිද
පොඩ්ඩො...

ලෙස්ලි අයියා ඊයෙ
ආයෙමත් බී ගෙනද?
අනේ නෑ...යාළුවෙක්
හම්බෙලා...

ඇය උගන්වපු පාඩමේ තැන ඉතිරි වෙච්ච ව්‍යාකරණ වැරදි....


නුඹේ ව්‍යාකරණ

නැවතීම තියන්නට හරි බරි ගැහිලා
ඉන්න කොට...
ඔබයි ඇවිටිලි කලේ තබමු අපි කොමාවක්
එත් ලගකදි ඉදන් මම වරහනක බව 
තේරැණා, බොල දයි කියා
නුඹ දාල මට විශේෂණයක්

ජෙමා හැමදාම යන එන පාරෙ හන්දියෙ තියෙන කඩේ, අමුතුම තැනක් මේ ජෙමා දැක්ක හැටි....
 
හන්දියෙ කඩේ

දෙකක් දා ගත්තු
පත්තු වෙන සිගරැට්ටු
අතින් ගත්
ගමේ ‘‘පිරිමින්ගෙ‘‘ වැදුම් ගෙය

මේක  බොහොම මෑතකදි ලිව්වෙ..චෝගම් වලට කලියෙන් චැනල් 4 සිද්ධි, මානව හිමිකම් සිද්ධි කරලියට එන කාලෙ ලියවුනු එකක්..

එදා චැනල්
4


පසුගියදා ඉන්දියාවේ කැලෑබද ප‍්‍රදේශයක
තම ගුරුවරයාට ගුරු දක්‍ෂිණා සඳහා
ඇගිල්ලක් එකතු කර ගැනීමේ යෙදුණු
අංගුලිමාල නමැති පුද්ගලයෙකුගේ
මානව හිමිකම් උල්ලංඝමනය වන අයුරින්
හැසිරුණු ශ‍්‍රමණයෙකු පිලිබඳ මානව හිමිකම්
කවුන්සිලය සෙවිල්ලෙන් පසුවේ.....
මින් පෙර ආලවක නමැති ප‍්‍රභූවරයෙකුට
නොමනා ලෙස බැණ වැදීම, රජ්ජුමාලා නමැත්තියක
විසින් මෙම ශ‍්‍රමණයාට විරුද්ධව
නගන ලද චෝදනාවක් පිළිබඳවද
පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතී.
ඇය පැමිණිලි කර ඇති පරිදි
සිය සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය
වන ලෙස, නිදහසේ ගෙල වැල ලා ගැනීමට
ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීම මෙම
ශ‍්‍රමණයාට විරුද්ධව ඇතිි චෝදනාවයි.

ජෙමා බෞද්ධයෙක් වුනාට, බොහොම උවමනාවෙන් බයිබලය කියෙව්ව, ජෙමා විශ්වාස කරන්නෙ ලොව බිහිවූ හැම ආදම් කෙනෙකුමගෙ උකුල ඇටයෙන් නිර්මාණය වුනු, ඒවා කෙනක් ඉන්නව, හැබැයි ඒක පලමු බැල්මේ ආදරය, සංසාරගත ප්‍රේමය වගේ එකක් නොවෙන්න පුළුවන්...


ඒවා

මාගේ උකුළු ඇටයෙන් ඉපිද
මාංසයෙන් මාංසයව හිඳ
කලක් එක්ව දුක වලඳා
කායින්, ආබෙල් වදා
පෑල දොරින් පැන ගිය

සර්පයාගේ බස් අසා
තහනම් ගහෙන් ගෙඩි කඩා කා
සියලූ දේ දැන නොදන්නා සේ හිඳ
අවසන උන් වහන්සේ විසින්
දුන් දික්කසාදය ලෙසට
කරකාර බැඳ ගියෙන් සර්පයා සමඟම

ජෙමා දුම්රියෙන් ගමන් කරන්නෙක්...ඔය යන එන අතර කෝච්චි පාරට යාබදව ලොකුවට ගහල තියෙනව Rooms කියල...මේ ඒ රෑම්ස් ගැන..

Rooms


එන්න ඇවිදින්
වෙහෙස නිවාගෙන
මහ ගෑණියෙක් වෙලා යන්න....

ජෙමා අදටත් හිතන්නෙ වැරැද්ද මගෙ අතේ...ජෙමා අන්තිමට එයාට කිව්වෙ මම ඔයා කියන කෙනා තමයි....(I am whatever u say i am)


වැරදිකරු ස්වාමීනී

පැමිණිලි පාර්ශවය
කියන්නා සේ,
ඇමතීමි, සුදූ..නොකියා..තමුසෙ යැයි..
කියවීමි, මලවුන්ගේ අවුරුදුදා රහකර
නොදනිමි, කසුන්-චාපා ගැන කිසිවක්
පෙම් බැඳීමි, පැමිණිල්ලට තරමටම
සැන්දෑ අහසට, පුරහඳට
නොකෙරෙමි, නුවර වැව ලඟ හිඳ හංසයන් හුරතල්
නොදිටීමි.....කාසයට නොවැටුන බොත්තම

විරුද්ධත්වයක් නොමැත

වැරදිකරු ස්වාමීනී....

හැම විවාහයක්ම සර්ව සම්පූර්ණ, පාරිශුද්ධ නොවුනාට සවිඥානික විය යුතුයි...

යෝජිත විවාහය

සාරිය දිගට
හැ‍ද ඈ වසා ගති
කොර කකුල

අඩුවෙන් කතා කර
ඔහු නොපෙන්වයි
ගොතය

අම්මා, අප්පා
නොදත් කපුව දත්
පැටිlsරිය

කො‍හන්දෝ පහළවන
ගොඩ, මඩ ඉඩ කඩම්

හරි හරියටම
කබල්ගෑවෙන 
වංසවත්කාරකම්
Related Posts Plugin for WordPress, Blogger...