Wednesday, November 20, 2013

සංක්‍රාන්තියේ මතක...


ජෙමාගෙ සංක්‍රාන්ති කාලයේදි ලියවෙච්ච නිසදැස් කීපයක් පොස්ටුවක් විදිහිට දාන්න හිතුන...ලියපු කොල කෑලි වේයො කාල, පුස් කන්න කලියෙන් ඩිජිටල් තෝම්බුවක දාල පරිස්සමට තියන අරමුණින් තමයි මේක කළේ..(ජෙමා කවියෙක් නෙමෙයි...පහලින් තියෙන්නෙ රහක් තියෙන මිනිහෙක් වෙන්න ගන්න උත්සාහයක එහෙන් මෙහෙන් අහුලගත්ත පද පේලි කීපයක් විතරයි.)


ජෙමා ගොඩයෙක්...කොළඹ තදාසන්න වුනාට අපිත් වෙලේ පැනල..ඇලේ නාල හැදිච්ච උන්..ජෙමාගෙ ගොඩේකම ගැන ලියවිච්ච පද පේළියෙක් මේ...

මමත් ගොඩයෙක්

අප්පච්චි එක්ක
හරි හරියට නියර බදින..පෝරැ ගාන
කොස්, පොළාස් නැති බත
දැක්කාම මූණ ඇඹුල් වෙන
හදිස්සියකට ගෙදර
පොල් ගහේ බඩගාන
හිතුනාම පෝයකට 
පන්සලේ සිල් ගන්න
පහල ඇල ගාව හිද
නල හදයන් ගණින
මමත් ගොඩයෙක්

අපි යද්දි එද්දි කාක බෝ ගස් දකිනව..කාක බෝ වගේ මිනිස්සුත් දකිනව..

කාක බෝ
කාක වසුරෙන්
පිදෙන
හිඟන දෙවිවරු
වඩින
තුන්මන් හංදියේ
තනිකඩව වැඩ හිඳින
බෝධින්නාන්සේ පට්ටමින්
පුදන කෙනකුන් නොවන

ජෙමා දැක්ක අම්මගෙ අපරිමිත අව්‍යාජ, සෙනෙහස..

අම්මා

ගෙදර ඔක්කෝටම හොරෙන්
මාළු හොදි ඇතිලියෙන්
ලොක මාලු කෑල්ලක්
මට අරන් තියාගෙන...
අම්ම
දංකඩේ පිගානට බෙදාගෙන...

මීරිගම පැත්තෙ යන එන කට්ටිය දන්න තැනක් තමා සුදු බෝධිය, මොකක් හරි කරදරයක් වෙච්ච හැම වෙලාවකම වගෙ ශ්‍රද්ධාව, භක්තිය විශ්වාසය කොහොම වෙතත් සුදු බෝධි යන්න හුග දෙනෙක් උනන්දු වෙනව...

සුදු බෝධිය
නැතිවෙච්ච හවඩියට
පොඩි දුවගෙ අපලයට
මාරි අම්මා පඩුරැ බැදලා
හිතේ දුක්පොදි අහක් කරලා....

බොහොම දෙනෙක් වෙසක් මාසෙදි දකින්නෙ ගහපු තොරණ හැබැයි ජෙමා දැක්ක ගලවපු තොරණවල, ලොකු කථාවක් තියෙන බව...

ගලවපු තොරණ

උඩම කොටුවක හුදෙලාවට
බුදුහාමුදුරැවො තනිවෙලා
සැදැහවත් සංවිධායකයෝ
පින් කැටය ලග  වටවෙලා....

නිරාමිසකම ගැන පොඩි සාදු , දේශනා නොකර උගන්නපු කවදාවත් අමතක නොවන බණ පදය..

නිරාමිස

පන්සලේ බොධියෙන්
වැටෙන බෝපත් දිහා
පොඩිසාදු හිනවෙන් බලාගෙන ඉන්නවා
මම ගෙදර රෑ බතට මාළුපින්නට
දෙයක් ණයට ගන්නේ කොහොම හිත හිතා
පැන් කලේ හලනවා...

ජෙමාට අක්කෙක් නෑ, හැබැයි සහෝදරියක් වගේ ඇසුරැ කරපු අක්කෙක් හිටිය, ජෙමා හම්බවෙන හැම දවසකම වගේ තමන්ගෙ පපුවෙ තියෙන දුක දමල ගහල, හිත හදාගන්න එක එයාගෙ පුරැද්දක්..


අක්කා

අම්මගෙ පපුවෙ අමාරැව
අද ආයෙත් වැඩිවෙලා
තෙල් බෙහෙත් ගෑව ඇති
යමු ඩොක්ටර් කෙනෙකට 
පෙන්නන්න..

මටත් අතමිට හිගයි 
අක්කේ ඩෙනිමත්
හිල්වෙලා...
දාහක් ඇතිද
පොඩ්ඩො...

ලෙස්ලි අයියා ඊයෙ
ආයෙමත් බී ගෙනද?
අනේ නෑ...යාළුවෙක්
හම්බෙලා...

ඇය උගන්වපු පාඩමේ තැන ඉතිරි වෙච්ච ව්‍යාකරණ වැරදි....


නුඹේ ව්‍යාකරණ

නැවතීම තියන්නට හරි බරි ගැහිලා
ඉන්න කොට...
ඔබයි ඇවිටිලි කලේ තබමු අපි කොමාවක්
එත් ලගකදි ඉදන් මම වරහනක බව 
තේරැණා, බොල දයි කියා
නුඹ දාල මට විශේෂණයක්

ජෙමා හැමදාම යන එන පාරෙ හන්දියෙ තියෙන කඩේ, අමුතුම තැනක් මේ ජෙමා දැක්ක හැටි....
 
හන්දියෙ කඩේ

දෙකක් දා ගත්තු
පත්තු වෙන සිගරැට්ටු
අතින් ගත්
ගමේ ‘‘පිරිමින්ගෙ‘‘ වැදුම් ගෙය

මේක  බොහොම මෑතකදි ලිව්වෙ..චෝගම් වලට කලියෙන් චැනල් 4 සිද්ධි, මානව හිමිකම් සිද්ධි කරලියට එන කාලෙ ලියවුනු එකක්..

එදා චැනල්
4


පසුගියදා ඉන්දියාවේ කැලෑබද ප‍්‍රදේශයක
තම ගුරුවරයාට ගුරු දක්‍ෂිණා සඳහා
ඇගිල්ලක් එකතු කර ගැනීමේ යෙදුණු
අංගුලිමාල නමැති පුද්ගලයෙකුගේ
මානව හිමිකම් උල්ලංඝමනය වන අයුරින්
හැසිරුණු ශ‍්‍රමණයෙකු පිලිබඳ මානව හිමිකම්
කවුන්සිලය සෙවිල්ලෙන් පසුවේ.....
මින් පෙර ආලවක නමැති ප‍්‍රභූවරයෙකුට
නොමනා ලෙස බැණ වැදීම, රජ්ජුමාලා නමැත්තියක
විසින් මෙම ශ‍්‍රමණයාට විරුද්ධව
නගන ලද චෝදනාවක් පිළිබඳවද
පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතී.
ඇය පැමිණිලි කර ඇති පරිදි
සිය සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය
වන ලෙස, නිදහසේ ගෙල වැල ලා ගැනීමට
ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීම මෙම
ශ‍්‍රමණයාට විරුද්ධව ඇතිි චෝදනාවයි.

ජෙමා බෞද්ධයෙක් වුනාට, බොහොම උවමනාවෙන් බයිබලය කියෙව්ව, ජෙමා විශ්වාස කරන්නෙ ලොව බිහිවූ හැම ආදම් කෙනෙකුමගෙ උකුල ඇටයෙන් නිර්මාණය වුනු, ඒවා කෙනක් ඉන්නව, හැබැයි ඒක පලමු බැල්මේ ආදරය, සංසාරගත ප්‍රේමය වගේ එකක් නොවෙන්න පුළුවන්...


ඒවා

මාගේ උකුළු ඇටයෙන් ඉපිද
මාංසයෙන් මාංසයව හිඳ
කලක් එක්ව දුක වලඳා
කායින්, ආබෙල් වදා
පෑල දොරින් පැන ගිය

සර්පයාගේ බස් අසා
තහනම් ගහෙන් ගෙඩි කඩා කා
සියලූ දේ දැන නොදන්නා සේ හිඳ
අවසන උන් වහන්සේ විසින්
දුන් දික්කසාදය ලෙසට
කරකාර බැඳ ගියෙන් සර්පයා සමඟම

ජෙමා දුම්රියෙන් ගමන් කරන්නෙක්...ඔය යන එන අතර කෝච්චි පාරට යාබදව ලොකුවට ගහල තියෙනව Rooms කියල...මේ ඒ රෑම්ස් ගැන..

Rooms


එන්න ඇවිදින්
වෙහෙස නිවාගෙන
මහ ගෑණියෙක් වෙලා යන්න....

ජෙමා අදටත් හිතන්නෙ වැරැද්ද මගෙ අතේ...ජෙමා අන්තිමට එයාට කිව්වෙ මම ඔයා කියන කෙනා තමයි....(I am whatever u say i am)


වැරදිකරු ස්වාමීනී

පැමිණිලි පාර්ශවය
කියන්නා සේ,
ඇමතීමි, සුදූ..නොකියා..තමුසෙ යැයි..
කියවීමි, මලවුන්ගේ අවුරුදුදා රහකර
නොදනිමි, කසුන්-චාපා ගැන කිසිවක්
පෙම් බැඳීමි, පැමිණිල්ලට තරමටම
සැන්දෑ අහසට, පුරහඳට
නොකෙරෙමි, නුවර වැව ලඟ හිඳ හංසයන් හුරතල්
නොදිටීමි.....කාසයට නොවැටුන බොත්තම

විරුද්ධත්වයක් නොමැත

වැරදිකරු ස්වාමීනී....

හැම විවාහයක්ම සර්ව සම්පූර්ණ, පාරිශුද්ධ නොවුනාට සවිඥානික විය යුතුයි...

යෝජිත විවාහය

සාරිය දිගට
හැ‍ද ඈ වසා ගති
කොර කකුල

අඩුවෙන් කතා කර
ඔහු නොපෙන්වයි
ගොතය

අම්මා, අප්පා
නොදත් කපුව දත්
පැටිlsරිය

කො‍හන්දෝ පහළවන
ගොඩ, මඩ ඉඩ කඩම්

හරි හරියටම
කබල්ගෑවෙන 
වංසවත්කාරකම්

16 comments:

  1. ජෙමා අයිය ලියන දේවල් කියවනකොට මට ඒ දේවල් මැවෙනව වගේ..මොකද මටත් ඔය දේවල් ටිකක් කිට්ටුයිනෙ.අද ලොකු වෙනසක් කරල තියෙන පාටයි..ඔහොම යන් ඔහොම යන්..අර හංගගෙන ඉන්න ඒවත් ඉක්මනට දැම්මොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හංගන් ඉන්න ඒව ටික දානව බං වෙලාව ආපුවාම.....මම දන්නව උඹටත් මේව දැනෙනව කියල..අර කිව්ව වගේ මේව උඹටත් කිට්ටු දේවල්නෙ..

      Delete
  2. එලකිරි ජෙමා. මේක පොස්ටු දෙකකට විතර දාන්නයි තිබුනේ. හොඳටම වැදුනා ගලවපු තොරණ නිසඳස

    ReplyDelete
    Replies
    1. මේ හුගක්....කවි මම අන්තර්ජාලයේ අපේ කවි පන්තිය එෆ්.බී. ගෘෘප් එකේ දාපුව..එක තැනකට එකතු කරන්න තිබුණ වුවමනාවට තමා එක පොස්ටුවක දැම්මේ..මටත් දැන් හිතෙනව...දෙපාරකට දැම්ම නම් හොදයි කියල..

      Delete
  3. හිස නමා ගති ඈ
    සිහින් රතැඟිලි පටලවාගති
    සතියකට පෙරා ගෙනාවර
    විලිබරය මගෙ රන්වන් මනාලිය
    යෝජිත විවාහය දැක්කම මට මතක්වුනේ මේ කවිය,ජෙමා කියවල තියෙනවද

    ReplyDelete
    Replies
    1. කියවල නෑ...හැලපෙ අයියෙ...මම අන්තර්ජාලයෙ කවි ඇරැනහම බොහොම අඩුවෙන් තමා කවි කියවන්නේ...සේකරගෙ..කවි..ඇරැනාම ටිකක් පරණ පන්නේ කවි වලට මම කැමතියි

      Delete
    2. මේත් පරණ පන්නේ කවියක් තමයි ජෙමෝ,සිංහල නිසඳැස් කවියෙ ආරම්භකය වෙච්ච ජී බී සේනානායකයන්ගේ කවියක්.

      Delete
    3. මමත් ජී.බී. සේනානායක මහත්තයගෙ මුල්ම පොතක් වුණු දුප්පතුන් නැති ලෝකය කියවද්දි...ඒ අතර තිබිච්ච නිස‍්ද්ස් දැකල තමයි...ඉස්කෝලෙ කාලෙහ එහෙන් මෙහෙන් ලියන්න පටන් ගත්තෙ...කවි පද පේළි මතක නැති වුනාට එතුමාගෙ නිර්මාණ අංකුර කවියන්ට නිර්මාණ කරැවන්ට, අත්පොතක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් තරමෙ අගයක් තියෙනව..

      Delete
  4. එළකිරි මචෝ...උඹේ ඔය කවි හැකියාවෙන් වැඩක් ගනින් බං...පත්තරේකටවත් ඉදලා හිටලා ලියහං...පුංචි පහේ කවි පොතක් පල කරන්න පුලුවන් වෙයි දවසක...දිගටම ලියාගෙන පලයං...මේවායෙ තියෙන රහ නියමයි....

    තොරණට ලිව්ව කයිය වගේම යෝජිත විවාහයට ලියපු එකයි තමා මට ගොඩාක් තදට වැදුනෙ...ජය !

    ReplyDelete
    Replies
    1. මම සැරින් සැරේ තරැණයා පත්තරේ කිවයක් දෙකක් පළකළා...මගෙ බ්ලොග් පොස්ටුවකුත් එක පාරක් පළවුනා...ඇත්තටම සිරෝ මගෙ හීනයක් තමයි...කවදහරි පොඩියට කවි පොතක් පළ කරන එක...

      Delete
    2. අන්න එදාට උඹේ පොතේ කවරය මම ඩිසයින් කරලා දෙන්නම්....

      Delete
    3. බොහාම ස්තුතියි සිරෝ...කවද හරි උඹටම තමයි ඒ වැඩේ භාර දෙන්නෙ..

      Delete
  5. ජෙමාගේ කවි වල වෙනසක් තියෙනවා.. මම කැමතියි ඒකට..

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ එහෙම් පිටින්ම ලියනව...එච්චරයි බං..

      Delete
  6. කවි ටික ඇත්තට ම ලස්සණ යි. අමුතු ශෛලියක් තියෙන්නේ. ඔක්කොම එක පාර දාන්නේ නැතු ව එකින් එක දැම්මා නං වඩා හොඳයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ අවුරැදුඅ හතර පහකට කලින් ලියපු කවි ටිකක්...මට එක තැනකට ගන්න වුවමනාව තිබුණ නිසා තමයි...එකම පොස්ටුවක දැම්මේ...බොහොම ස්තුතියි..කොමෙන්ටුවට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...