ජෝජ් අයිය බීල
‘‘ආ නංගී...පාලම යටත් මල් පිපෙනව ඒනං....“
සන්තෝසයි....දුකයි....මේ ලැටිස් ගහපු ලෑලි මාලිගා අස්සේ ඉදන්, සරසවියට යන්න තේරැණා. අරලියගහ මන්දිරෙත් බලාගත්ත. ජනාධිපතිතුමා අත් දෙකෙන්ම අල්ල සුභ පැතුව. හැබැයි උප්පැන්න සහතිකේ කොපියක් ගන්න ගිය වෙලාවෙ, එතන හිටිය ලොකු මහත්තයෙක් ‘‘බ්ලඩි ලෝ ලයිෆ්ස්“ කිය කියා කුටු කුටු ගාන ගමන් ෆයිල් තෝරපු හැටි මතක් වෙනකොට හිතට මොකක්දෝ කහටක් දැනෙනව. අපි ලෝ ලයිෆ් ද, වෙන්න ඇති පාලම යටනෙ.
පත්තරේ පළමුවෙනි පිටුවෙම මගෙ නම දාල, ලොකු අකුරෙන්. තාත්ත උදේ පාන්දර පත්තර කඩෙන් පත්තරේ අරන් එනව මම දැක්ක.
‘‘කෙල්ලගෙ නම පත්තරේ තියෙනව බං, මේ බලහං“ අම්මත් එක්ක කුස්සියෙ කුටුකුටුව.
මම කුස්සිය පැත්තට ගියා, යනකොට අම්ම චීත්තෙන් ඇහැ පිහදාන ගමන් පත්තරේ කියවනව. මගෙ ඇහැත් නලියනව. ආපහු හැරිල ඇවිත් ඇදේ හාන්සි වුනා. කැලණි පාලම උඩින් ලොකු කන්ටේනර්, පෙට්ටි අරන් ලොරියක් යනව පේනව ලෑලි අස්සෙන්.
අල්ලපු ගෙදර, පොඩි එකා කුණුහරප කියනව ඇහෙනව, ‘‘මට අර ගිය මාත්තයගේ පොඩි එකාගෙ වගේ බෝලයක් ඕනෙ බං අම්මෙ අරන් දියංකො‘‘
‘‘කට වහන ඉදහං, ගුටි නොකා උං ලොකු මාත්තුරැ බං....මාර්තගෙ කෙල්ල වගේ ඉස්කෝලෙ ගීන් ඉගෙන ගනින්‘‘
ඇහේ මෙච්චර වෙලා බරට තිබුණු කදුළු ගුලියක් පල්ලෙහාට වැටුණ. පත්තරේ තිබ්බෙ මමත් චංගුමී වගේලු.
No comments:
Post a Comment