Sunday, September 15, 2013

කළුකුමාරයා එනකම්


ගහෙන් ගහෙන් කළු
කෙස් ගස් සුදු වෙනවා
දවස ගානෙ
ලිප් බොක්කෙ දුං වැදුනේ
උඹෙ නොඉඳුල් 
තරුණ කාලෙ
ලොකු අක්කේ පූළුටු නොකා
නොගියට මහ නුගේ පැත්තෙ
කළුකුමාරයා වැහිලලූ
ගම පුරාම කථා ඇත්තෙ

කට්ට කපන 
රෑ කළුවර ගෙට එබුනම
හොරෙන් වාගෙ
රෑ මැද්දේ හූල්ලන්නෙ
උල ලේනිද අවේලාවෙ
ජනෙල් කූරු ගණින ගමන් 
තෝන්තුවෙන් වගේ ඉදන්
තනියම උඹ කියවන්නේ
යාසෝධරාවතේ වදන්
කණ්ණඩි මේසය ගාවම
තිස්තුන් පැය ඉන්න පොරේ
තනියම උඹ හිනහාවෙනවා
ඉකි ගහනව සැරින් සැරේ
පාට පහක මල් අරගෙන
පුළුටු පහේ නොකා එහෙම
ආතුරයට පලන්දන්න
නූලක් මතුරාවි රෑට
දෙහි ගෙඩියෙන් ගෙඩිය කපා
ගුරුළු යකා විරත්තාවි, 
කළුකුමාර පරල වේවි

උඹ යනවද මේ ඇත්තිට
කරදර දෙන්නැතුව යකා
ආයෙත් උඹ මේ පලාතේ
එන්ට හිතන්ටවත් එපා
උං නොදන්නවා වුනාට
උඹ අඬන්නෙ ඌ නාවට
සපත්තු පාලම හදලා
පාරට තාරත් දමලා
ආයෙ නොඑන්නම ගියාට
රෙදි අල්මාරිය ඇද්දොත් 
මේසෙ කොලේ යට බැලූවොත්
කපුරු බෝල සුවඳ තියෙන
කළුකුමාරයගෙ ලියුමක්
උංටත් හම්බේවි අක්කෙ
වැන්දබෝන නැන්ද වුනත්
කියාවි උගෙ කැරුට්ටුවම
දිෂ්ටි දැම්මෙ උඹ ඇරුණම
ගමේ අනිත් එකීලගෙ වතගොත
රෑට, රෑට බත්ගෙදරට
ආගිය හැටි කදබැඳගෙන
දැලි රැුවුලත් ආපු දාක
අතපය හයිවෙච්ච දාක
ඇදං ඇවිත් කංකෙටියෙන්
දෙන්නම් ‘‘කළු කුමාරයව’’

-ජෙමා



10 comments:

  1. ඉතාම සාර්ථකයි.. මම කිව්වේ උඹට සේකරගේ උරුව හොදට පිහිටල තියෙනවා. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..දිරිමත්කලාට...

      Delete
  2. ඔය වගේ කළු කුමාර කතා මේ කාලෙත් ‌බොහොම ඇහෙනව... ඒක තවත් යුද්ධෙකට මඟ පාදයිද කියලත් බය හිතෙනව...

    ReplyDelete
    Replies
    1. පශ්චාත් යුධ සමයක් පහුකරන හැම රටකම පාහෙ ඔය තත්තවයන් තිබුන..ඉදිරියටත් තියේවි...

      Delete
  3. කළුකුමාර විස්තරය...

    http://harshana-bc.blogspot.com/2012/05/blog-post_22.html

    ලෙසටම ලියලා හොදේ..නියමයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා කිව්ව නම් ලෙසටම කියල..ආයෙ දෙකක් නෑ...ප්රීතියි..ප්රීතියි..

      Delete
  4. ඔය කියන කළු කුමාරයව ජෙමා අල්ලගත්ත දවසට අපිටත් කියන්න.අපි එනව දුම්මල ගහන්න.හැබැයි කළු කුමාරයට නෙවෙයි අපේ ජෙමාට.....

    ReplyDelete
    Replies
    1. උඹටයි මටයි..නම් දුම්ම්ල ගහල එලවන්න සෙට් එකක්ම ඉන්නවනෙ...වෙලාව ආපුවාම කළුකුමාරයො රීරි යක්කු ඔක්කෝම එලවනව..එකෙන්ම

      Delete
  5. කවි ටික හොඳයි,දිගටම ලියපං අඩුපාඩු හදාගෙන,උඹ අපේ ගම්පලාතේ එකානෙ

    ReplyDelete
  6. උඹේ කවි මට නම් හොදට රහයි ජෙමෝ...දිගටම නිසදැස් කියන රාමුවට කොටුවෙන්නෙ නැතුව මේ කවියෙන් කියවෙන ආකාරයේ ගමේ අසිරිය කියවෙන ලස්සන ගැමි කථාවක් ලියපංකො...කියවන්න ආසයි...ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...