Saturday, February 16, 2013

මම දේශප්‍රේමියෙකු නොවෙමි....



මම මේ දේශයට නොකැමැත්තෙමි. දේශප්‍රේමියෙකු නොවෙමි.

අඩු වයසින්, ගැබ්ගෙන නූපන් දරැවන් ගබ්සා කරන දැරියන් බොහෝ වෙන හෙයින් නොකැමැත්තෙමි. කොරෙක්ස් ඩී බොන, සූස්ති අදින ගැටවරයන් බොහෝ හෙයින් නොකැමැත්තෙමි. ගැටවර වියේ, ගැටිස්සි සමයේ ලබා ගත යුතු ලිංගික අධ්‍යාපනය, සමාජ අධ්‍යාපනය පාසල් පොතේ නැති හෙයින් නොකැමැත්තෙමි. රටේ තාරැණ්‍ය නැති කරන කංසා වෙළෙන්දන්, කුඩු මුදලාලිලා බොහෝ වෙන හයෙන් නොකැමැත්තෙමි. කළු සල්ලි වලින් යැපෙන්නන් පිළිබද විවෘත සමාජ කතිකාවක් නොවන හෙයින් නොකැමැත්තෙමි. පාතාලය යනු නුඹේත් මගේත් ජීවිත පරාවර්තනයක් බව පෙන්වන්නන් නොවන බැවින් නොකමැත්තෙමි. කෞතුකාගාරාය බිදින කන්ගැට්ටන් සිටින හෙයින් නොකැමැත්තෙමි. සංස්කෘතික ත්‍රිකෝණයෙන් සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය ආරම්භව එතැනින්ම අවසන් වන හෙයින් නොකැමැත්තෙමි. කැටපත් පවුරේ අපේ උන්ට කුරැටු ගී ලියන්නට තහනම් හෙයින් නොකැමැත්තෙමි. කසිප්පු අඩියක් ගැසූ සැනින් පිරිමි කමත් සරමේ කොනත් කරට එන පිරිමින් සිටිනා හෙයින් නොකැමැත්තෙමි. ගල් වීදුරැවක රහ බලන්නට ඇඹරෙන කොල්ලෝ සිටින හෙයින් නොකැමැත්තෙමි. ලිවින් ටුගෙදර් ඉන්න කෙල්ලන් නිසා නොකැමැත‍්තෙමි. මධු සමයේදි වැලපෙන සති සාවිත්‍රියන් නිසා නොකැමැත්තෙමි. පෙළ පොතෙන් පිට උත්තර නැති පාසල් වාර විභාග නිසා නොකැමැත්තෙමි. විෂය නිර්දේශය විශ්ව කෝෂය බවත්, එය සැලසුම් කලෝ උත්තරීතර සියල්ල දත්තෝ බවත් දන්නා පාසල් ගුරැවරැන් නිසා නොකැමැත්තෙමි. පැහැපත් පිටපොත්ත කථීකාචාර්ය පදවි ලැබෙන, විශ්වවිද්‍යාල නිසා නොකැමැත්තෙමි. පශ්චාත් උපාධියට නිබන්ධ පරීක්ෂකවරැ සමග නිදියහනට යන උපාධිධාරීන් නිසා නොකැමැත්තෙමි. රැකියා නැතැයි වර්ජනය කරන උපාධිධාරීන් නිසා නොකැමැත්තෙමි. තාරැණ්‍ය අතරමං කරන අධ්‍යාපන ක්‍රමය නිසා නොකැමැත්තෙමි. බුලත් කොලයට කැන්වසින් ගොස් ජනරාල්ට ඡන්දය දුන් බවට සගවා සිටින්නට වූ නිසා නොකැමැත්තෙමි. ගමේ පාරට කොන්ක්‍රීට් දමා ඉන් කොමිස් ගසන දේශපාලන පිම්පියන් නිසා නොකමැත්තෙමි. ගූගල් එපා යැයි, බලමාලු කන්නටැයි කියන දේශපාලඥයන් නිසා නොකමැත්තෙමි. දුෂ්කර ක්‍රියා කල සිදුහත් කුමාරයාට සික්ස් පැක් දමා හදපු චිත්‍රපට බලන්නට වූ නිසා නොකමැත්තෙමි. සියලු කලාවන් අතු ගෑවෙද්දී නෙළුම් පොකුණට පමණක් නාට්‍ය කරන කලාකරැවන් නිසා නොකමැත්තෙමි. රිසානාගේ හිස ගසා දැමූ දා කථා නොකල මුස්ලිම් ජාතිකයන් නිසා නොකමැත්තෙමි. හැමෝම කරන නිසා හලාල් වර්ජනය කරන සිංහලයන් නිසා නොකමැත්තෙමි. සිංහල සෙබලුන් මරා, මායිම් ගම්මාන කැති ගා විනාශ කළ එල්.ටී.ටී ය නිසා නොකමැත්තෙමි. ෂෙල් ප්‍රහාර නිසා කුඩුහමක්වත් නොකැඩුනායැයි කෙස් පැලෙන තර්ක ගේන බුද්ධිමතුන් නිසා නොකමැත්තෙමි. තව බොහෝ දෑ නිසා නොකමැත්තෙමි.....

යලි යලිත් කියමි, මම දේශප්‍රේමියෙකු නොවෙමි.............................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...