Tuesday, February 26, 2013

අමරණීය.....




‘ලෙස්ලි අයියා අංග පාර්...අර මෑන්ස් අදත් ඇවිල්ල...’’
‘මොකාද...‘
‘අප්පට සිරි පිස්සු වීරෙ.....වල වෙටි පොඞ්ඩක් සුද්ද කරල දීපන් උඹට පන්සීයෙ පටියක්ම දීල යයි..’’

මගේ ආත්මය ඝනීභවනය වී ඇත. නුඹේ මතකයන් පමණක් ජීවිතයේ අවක්ෂේපිතව හිතේ අහුමුලූ වල ඉතිරිව ඇත. ඒවා අපහැදිලිය. අසමමිතිකය. අවිධිමත්ය. එහෙත් තව කල්ප කාලාන්තරයකට නුඹව ‘ජීවත්’ කරවීමේ වගකීම, අපව සදාතනික කරවීමේ වගකීම තවමත් මගේ උරමත පැටවුණු මහා බරක් සේ, රිදවමින්, පැසවමින් ශේෂව ඇත.

‘‘වීරසේකර මහත්තය වල වෙටි පොඞ්ඩක් ෂුද්ද කරල දෙන්නද?’’
‘‘ආ..රාමන්...හොඳා හොඳා....කෙයාර්ෆුල්  ඕවර් දෙයාර්....ටූම්බ් ස්ටෝන් එක ඉරිතලල තියෙන්නෙ....‘‘

’’වීරෙ මීට්...යශෝධරා’’ සාදයකදී, මා මිත‍්‍ර අමරබන්දු නුඹව හඳුන්වා දුන් මුල්ම අවස්ථාව දින වකවානු සහිතව හොදින් මතකය. නුඹ මුණගැසීමට පෙර මා දැන සිටියේ එක් යශෝධරාවක් පමණි. ඇය සාරාසංඛේය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ, මහෝත්තමයෙකුට බිරින්දෑව, උත්තම කැප කිරීමක් කල කාන්තාවකි. ඔසරියකින් සැරසී, හුන් හීන්දෑරි තළෙළු, කම්මුල් වග ගැසෙන සිනහවකින් යුත් නව යොවුන් වියේ පසුවූ තවත් යශෝධරාවක් එදින මම හදුනා ගතිමි. විවාහ සංවත්සර සාද පිළිබඳ එවක මා තුළ පැවතියේ තරමක අප‍්‍රසාදයකි. සිය පන්ති ප‍්‍රමිතිය පවත්වා ගෙන යාම සඳහා, මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික පිරිස් දරන හාස්‍යයොපාද්තමක වෑයකමක් ලෙස අදටත් මම විවාහ සංවත්සර සාදයන් දකිමි. 

‘‘බොර්ඞ්...ඔෆ් ද පාර්ටි....’’ සාදය පසෙක දමා නුඹත් හුදකලාව සිටිනු දුටුවෙන්, ලංවීමි.
‘‘පාටිය කම්මැලියි තමා.......ඊට හපන් කම්මැලියි අර ප්ලේයර්සල ප්ලේ කරන මියුසික් එක..’’ 
‘‘ජෑස්....ලස්සන නැද්ද...’’
’’මොකක්ද තියෙන ලස්සන.....මම ආසයි ඇහන කොට කකුලෙන් ටැප් කරන්න පුළුවන් මියුසික් එකකට, නිකම් ඉන්නැද්දි මුමුණන්න පුළුවන් මියුසික් වලට.....‘‘ කලක පටන් දන්නා කියන ඇත්තියක මෙන් සිය රුචි අරුචිකම් මා හමුවේ ප‍්‍රකාශ කළෙන්, නුඹ ගැන ආගියාව දැන ගැනීමේ කුහුල මා තුල වැඩෙන්නට විය. මාගේ මතකය නිවැරදි නම්, ඒ රාති‍්‍රයේ අප සංවාදයේ නොයෙදුණු මාතෘකාවක් නැති තරම්ය. සංගීතය, සාහිත්‍යය, දේශපාලනය මෙකී නොකී විවිධ මාතෘකා පිළිබඳ අපි සංවාද කළෙමු. වරෙක දැඩි දරදඩු ස්වරයකින්, මුරණ්ඩු අදහසින් නුඹ මා හා තර්ක කළ අයුරු අදටත් මතකය.

‘‘හැත්තැ හතෙන් පස්සෙ තමා...අපේ ගෑණුන්ට කුස්සි අම්මල වෙන්න වුනේ...’’

හීන්දෑරි අත් ලෙලවමින්, මා හා සංවාදයේ යෙදෙන ‘පැහිච්ච කෙල්ල‘ ගැන අවිඥානිකව ඇතිවන ඇල්මක් හිතේ යට මුල් අදින බව එදා රාති‍්‍රයේ මට නොදැනුනා නොවේ. මම එය අපහසුවෙන් සගවාගතිමි. මගේ භෞතික ස්වරූපයට හෝ අදහස් උදහස් වලට නුඹේ ඇති කැමැත්ත අකමැත්ත පැහැදිලි කර ගැනීමට එක් රැුයක් කොහොත්ම නොසෑහෙන බව පමණක් මම වටහා ගතිමි.

‘‘මේ අයි හෑව් යුවර කන්ටැක්ට් නම්බර් ප්ලීස්...ඉෆ් යූ මේ....‘‘

ටිෂූ කඩදාසියක් මත බෝලට් පොයින්ට් පෑනකින් නුඹ ලියූ දුරකථක අංකයත්, සුරුවමක් මෙන් අදටත් මම ආරක්‍ෂා කරමි. කහ ගැහැණූ දියවී ගිය ටිෂූ කඩදාසිය මත ලියූ එය මේ වන විට අපහැදිලිය. මගේ මුදල් පසුම්බයේ කාලාන්තරයක් අවධානයක් නැතිව තිබූ ඒ ටිෂූ කඩදාසියේ ඇති අමිල අගය, වැටහුණූ දා පටන් එදා සාදයේදී නුඹෙන් හැමූ පිච්ච මල් සුවඳ අදටත් එහි ඇත්දැයි වරින් වර පරීක්‍ෂා කරමි. කවුරුන් හෝ නොවටිනා කඩදාසි කැබැල්ලක් සේ එය ඉවත දමයිදෝ යන සැකයත්, මගේ පසුම්බියේ එය සුරැුකිව ඇත්දැයි යන සැකයත් නිසා දිනකට දෙතුන් වරක් එය පරීක්‍ෂා කරමි. 

‘‘නයින්, ටූ වන්..නයින් සීරෝ.....වන් නයින් සීරෝ..වන් නයින්’’ දැන් මාගේ මතකයද දුබලය. එය නහර පෑදුණු දෑත් මෙන්ම, දියවැඩියාවෙන් පෙළන දෙපා මෙන්ම දුබලය.

‘‘මොකක්ද මහත්තය...කිව්වෙ...‘‘
‘‘ෂට් අප් යූ....නයින්, ටූ වන්...වන් නයින් සීරෝ...’’
‘‘පිස්සු යකා’’

කැරකොප්පුවේ රාමන්ට පමණක් නොව ලෝකයාට ද දැන් මම පිස්සූ වීරසේකරය. එහෙත් ඔවුන් නොදන්නා මහා බරපතල රාජකාරියක් මා සතුව ඇත. මහා වගකීමක් මා ඉටු කළ යුතුව ඇත. ඔව්....මම විසින් මා ජීවත් කළ යුතුව ඇත. නුඹ ජීවත් කළ යුතුව ඇත. අප අමරණීය කළ යුතුව ඇත.

අපේ ආදරය, ඇරඹූනේ, දළුදැම්මේ, මුල් ඇද්දේ වාචික ප‍්‍රකාශනයකින් හෝ නිශ්චිත එකඟතාවයකින් තොරවය. ආදරය නම නොකියවුණූ නමුත් නුඹ පිළිබඳ මා තුල වූ අසීමිත ස්නේහය ආදරය, පේ‍්‍රමය ඉක්මවා ගිය හැඟීමක් යන්න වටහා දීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බව පමණක් මම දැන සිටියෙමි.

‘‘වීරෙ, මම මුහුදට පැන්නොත් පනිනවද? මාව බේරගන්න’’
‘‘නෑ...ඒ මොකටද..මම පනින්නෙ නෑ‘‘
‘‘එතකොට...මම මැරෙයිනෙ...මට පීනන්නත් බෑ....‘‘
‘‘පේනවද මගේ රැුවුල....මේ වගේම තමා ගී‍්‍රක දෙයියො පොසයිඩන්..මුහුදට අධිපති...මගෙ නෑයෙක්....එයාට මම මුළු මුහුදම හින්දනව..ඔයාව ගොඩට ගන්න...මොකද මටත් පීනන්න බෑ’’
‘‘හික්..මහ පණ්ඩිතය..කටනම් තියෙනව..වතුරකට බැහැල පීනන්න බෑ...’’

අපේ ආදරය පණ්ඩිතකම් වලින් පිරුණකි, මට අවැසි වූයේ නුඹට හිතපුරා ආලය කිරීම පමණකි. නවකථාවක කියන්නා සේ, ගීතයක ගයන්නා සේ අපේ ආලය පාරිශුද්ධ අචින්ත්‍ය නොවන්නට ඇත. උදක්ම මගේ ආලය පාරිශුද්ධ නොවන්නට ඇත.

‘‘බැහැ වීරෙ මට මේක කරන්න බැහැ...අපි මෙහෙන් යමු ඉක්මනට ඩිනර් අරගෙන..‘‘
‘‘ඩෝන්ට් බී...අ....බේබි..යශෝ....ඉට්ස් ජස්ට් අ නයිට්..වන් ඩෑම් නයිට්....ඔයා ගෙදරට කියලනෙ ආව අද එන්න බැරිවෙයි...ෆීල්ඞ් එකේ වැඩක් කියල..දෙන් වට්....කමෝන් යශෝ ග්‍රෝ අප්..’’
පෙලින් පෙල පෙති දිගහැරෙන නෙළුමක් මෙන්, උනා දැමුණු රාතී‍්‍ර ඇදුම අසල ලජ්ජාවෙන් බිමට බරකරගත් හිසින් යුතුව මා මෙතෙක් දුටු යශෝධරා වෙනුවට වීනස් දෙව්දුව සිටිගෙන සිටියාය. මොනාසලිසා සිනහසුනාය. ඒ රැුයේ අප පේ‍්‍රමයේ ශුද්ධවන්තකම හානියක් වූයේයැ නුඹ මට කිසිදා ඇඟිලලක් දිගු කලේ නැත. කිසිදා පැමිණිල්ලක් කලේ නැත. අනවසරයෙන්, අකමැත්තෙන් හෝ නුඹව විඳින්නට මා තුල වූ සැඟවුණු ආශාවක් මුදුන්පත් කරගෙන පසුදා උදෑසන, නවාතැන්තගත් හෝටලයෙන් පිටවත්ම,
‘‘හෑව් අ නයිස් ඬේ මිස්ටර් ඇන්ඞ් මිසිස් වීරසේකර‘‘ යැයි සුබ පැතූ පිළිගැනීමේ නිළධාරිනිය දෙස දෙගිඩියාවෙන් නුඹ බලා සිටි ආකාරය, නුඹේ දෑසේ වූ අසරණකම මා ගේ ආත්මය හුන් තැනම ගිණිගෙන අලූකරන්නට සමත් විය.

‘‘වීරසේකර මහත්තය....රෝසස් මෙතනින්ම තියමු නේද...කැන්ඩල්ස් ට්කක් ගෙනාවද.මිසිස් වීරසේකරගෙ ෆේවරිට් නේද..රෝසස්....’’
‘‘මිසිස් වීරසේකර..මිසිස් වීරසේකර...ඔව් රාම..මිසිස් වීරසේකර...’’

අපේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ ජූලි 17 වනදාවකය. දෙපාර්ශවයෙන්ම පැමිණ සිටියවුන් අතර සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු ද සිටියා මට මතකය.

‘‘විෂ් යූ හැපි මැරේජ් ලයිෆ් වීරෙ...පාටියෙදිම කෙල්ලව ඉස්සුව නේද ආ....’’

අමරබන්දු මීවිතෙන් සප්පයාම්ව සුභ පැතුවිට, නුඹ මගේ සුරත සෙමින් කෙනිත්තීය.


ලොක්කා ඉපදුණේ විවාහයෙන් වසර තුනකට පමණ පසුවය. වරින් වර කෙරුණු ශාන්ති කර්ම වල හෝ දේවාල වන්දනාවේ ප‍්‍රතිඵලයක් නිසා හෝ අපට දරු සුරතල් බැලීමේ වාසනාව හිමිවිය. මේ මතය නුඹත් මමත් පිළිනොගත්තද, මගේ ආදරණීය මෑණියන්දෑ පිළිගත් බව නම් සිකුරුය. ඇය විසින් විටින් විට නුඹේ හිත කොනිති ගැසූ බව මම නොදැන සිටියා නොවේ. එහෙත් කිසිදු පැමිණිල්ලක් නොමැතිව සියල්ල නුඹ දරා සිටියාක් මෙන්ම මමත්, නොදුටුවාක් නොඇසුණාක් මෙන් සිටියෙමි.

‘‘වීරෙ අම්ම එක්ක ඉන්න ටිකක් අමාරුයිනෙ....ඉස්සරත් ඔහොමද...’’ දරා ගන්නට බැරි තැනකදී නුඹ එසේ පැවසුවේද චෝදනා මුඛයෙන් නොවේ.

ලොක්කා  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන බව, අපට දැන්වූයේ රටින් පිටවන්නට කලින් දා රාති‍්‍රයේදීය. එවන් කම්පනයක් දරා සිටීමේ හැකියාවත්, ඊට ප‍්‍රතිචාර දිය යුතු ආකාරයත් ප‍්‍රගුණ කල නොසිටියෙන් ඒ රාති‍්‍රයේ මම හැසුරුණු ආකාරය පිළිබඳ අදටත් සෑහීමට පත් නොවෙමි.

‘‘උඹ මගේ දරුවක් නෙමෙයි කියල හිතපන් මිනිහෝ...අදින් පස්සේ උඹට තාත්තෙක් නෑ...’’
‘‘මම එහෙම හිතල හුගක් කල්....මටයි කියල මොනවද කෙරුවෙ....ඉතුරු කරපු දෙයක් නෑ...ඔක්කෝම නැන්දල, මාමලට පිණට දීල......සුද්ද වගේ හැන්දෑවට අරක්කු වඩියක් තොල ගගා හිටියාම.....හතර මහ නිධානෙ පහල වෙයි කියල හිතුව....නමට හරි තාත්ත නිසා මනුස්සකමට කිව්වෙ යනව කියල..එච්චරයි........දැලි කුණු නාගෙන ඔක්කොම සුමේ කරන අම්මටත් කවද හරි ඔය ටික තමා’’

ජීවිතයේ මම නිරුත්තර වුණු ප‍්‍රථම වතාව එය විය යුතුය. හරි වැරැුද්ද, ගුණ අගුණ සියල්ල කිරා මැන බලා යුක්තිය අයුක්තිය සෙවිය යුතුව තිබිණි. නුඹේත් මගේත් ප්‍රේමය දැලි රැුවුල වැවී, අත පය වැඞී මා ඉදිරියේ දායාද ඉල්ලන අයුරු, නුඹ උපේක්‍ෂාවෙන් බලා සිටින්නට ඇත. ඉන් වසර දෙකකට පමණ පසු මා නමට ගුවන් තැපෑලෙන් ලැබී තිබූ විශාල පාර්සලයක් විවෘත නොකල ලියුම් කවරයක් සමග කුණු බාල්දියෙ තිබුණු අතර, ඒ පිළබඳ මම කිසි දිනක නුබෙන් විමසීමක් නොකළෙමි.


‘‘ශී ඉස් ඩයින් මිස්ටර් වීරසේකර....’’ මා උපන්දා සිට වි¥ විඳවූ, ජීවිතය පුරාවටම ඇසුණූ අසුන්දරම, අවාසන්වත්ම වචන කිහිපය පැවසුවේ දොස්තර බානගල විසිනි. පිළිකාව පෙනහළු දක්වා වර්ධනය වී තිබිණි. හැකි ඉක්මණින් ප‍්‍රතිකාර ආරම්භ කළහොත් නුඹෙ ජීවිත දින ගණන දික්කර ගත හැකිව තිබිණී. නිවසත්, ඉඩමත් ලක්‍ෂ තුනහමාරකට විකිණීමට තීරණය කලේ ඉන් තවත් මසක් දෙමසක් හෝ නුඹ වෙනුවේන මිළදී ගැනීමට හැකියාව තිබූ හෙයිනි. ගසින් ගස කෙස් ගස් සිදෙන හිස සිප ගනිමින් දිනපතා නුඹ ලඟ සිටියෙමි. ඉස්පිරිතාලයේ පුටවක්, අල්ලපු කඩයේ අගු පිලක් බොහෝ දිනවල මගේ නිදියහන විය. මාගේ යශෝධරාව වෙනුවෙන් මම දුෂ්කර කි‍්‍රයා කරමියි. දහස් වර සිතෙන් අධිෂ්ඨාන කළෙමි. දිනපතා අවදිව තුන්මන් හන්දියේ බුදු පිළිමට පැන් භාජනයක් තබා යාතිකා කළෙමි. සුරුවමටද යාච්ඤා කළෙමි. නුඹේ මුඛය හරහා බටයක් දමා දියර ආහාර දෙන්නට වූ දා පටන් දිනපතා එක වේලක් පමණක් ආහාර ගතිමි. කන්නේ මොනවාද, කැවේ මොනවාද යන්න පිළිබඳ අවධානයක් නොමැති විය. එසේ අවධානයක් අවැසි යැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි. විශ‍්‍රාම වැටුප් දිනයට බැංකුවේ පෝලිමේ හිදින්නට තරම් අවධානයක් මා තුල වූ හෙයින් නුඹේ බෙහෙත් හේත් අඩුපාඩුවකින් තොරව සැපයිය හැකිවිය.

අපේ ආදරය ආරම්භ වූයේ ද ටිෂු කඩදාසියකිනි. අවසානය සිදු වූයේ ද ටිෂූ කඩදාසියකිනි. අවසඟව රෝගී ඇදක සිටිද්දී, වෙව්ලන අතින් ටිෂූ කඩදාසියක නුඹ මෙසේ ලියා තිබිණි. 

‘‘මම යනව වීරේ....ඔයා ඉන්න...අපිව ජීවත් කරවන්න..මාව ජීවත් කරවන්න...අපිව අමරණිය කරන්න ඔයා ඉන්න...’’

එහෙයින් මා ජීවත්ව සිටිය යුතුය. ඒ අප වෙනුවෙනි. නුඹ වෙනුවෙනි. අපේ ආදරය වෙනුවෙනි. ලොක්කා මලගමට ඇවිත් ගියේ යැයි මට පැවසුවේ කවුදැයි තවමත් නිච්චියක් නැත. රාමන් විසින් ගැඹූරට පිලිවෙලට කැපූ වලක නුඹේ දේහය ආදහනය කරද්දී වේවලන අතින් පස් මිටක් දමා නුඹේත් මගේත් භෞතික සම්බන්ධයට තිත තැබුවෙමි. නුඹට මම අමතකව ඇතැදැයි නොදනිමි. එහෙත් නුඹව අමතකවීමට මම කිසිවිටෙකත් ඉඩ නොතබමි. මොහොතින් මොහොත නුඹත්, මමත් වෙනුවෙන් අපේ ආදරය ආවර්ජනය කරමි. එය නැවුම් කරමි. නැවත නැවතත් එය විඳිමි. මගේ යශෝධරාව වෙනුවෙන් විමුක්තිය සොයමි. උදානය සොයමි. 

‘‘වීරසේකර මහත්තය.....දැන් නම් ? වෙන්නත් ලඟයි ගියොත් හොදයි නේද...’’
’’ගියොත් හොදා..ඔව් රාම ගියොත් හොදා ඊට වඩා හිටියොත් හොදා.....’’
‘‘මම යනව වීරෙ....මම යනව වීරෙ...මම යනව රාම..මම යනව...රාම..ඔව් මම යනව’’

කැරකොප්පුවේ ගේට්ටුවෙන් ඉවත නුඹ නොමැති ලෝකය ඇත. එය කුහකය. අසුන්දරය. නුඹ සිටින්නේ කැරකොප්පුවේ මෙපිටින් වූ සොහොන් ගලින් නිර්මිත උන්ට නොදැනෙන මට දැනෙන ලෝකය තුලය. එය මට සුන්දරය. එහෙයින් මම හෙටත් එමි....පසුදාත් එමි....නුඹ වෙනුවෙන් ජීවත් වෙමි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...